විශේෂාංග
![]() |
![]() |
මාතර නිල්වලාවද, මීගමු කළපුවට යාබද මුතුරාජවෙලද කිඹුලන්ට මහත් ප්‍රසිද්ධය. මේ ප්‍රසිද්ධියට හේතුව නිරන්තරයෙන් ප්‍රදේශවාසීන්ට කිඹුලන්ගෙන් සිදුවන අකරතැබ්බ, අඩන්තේට්ටම් නිසාමය. නිරන්තරයෙන් සිදුවන කුකුළු, එළු ආදී සතුන්ගේ අතුරුදන්වීමත්, ඉඳහිට මිනිසුන්ට, ළමා ළපටීන්ට එල්ලවන ප්‍රහාරත් හේතුවෙන් නිල්වලාවේ මෙන්ම මුතුරාජවෙල අවටද මිනීමරු කිඹුලන් දිවි ගෙවන බවට ජනමාධ්‍ය නිතර වාර්තා කරයි.
කිඹුලා මෙලොව වසන විශාලතම (භෞමික) උරගයාය. ලංකාවේ මෙවන් කිඹුලන් විශේෂ දෙකක් වන හැල කිඹුලාද, ගැට කිඹුලාද දිවි ගෙවති. නිල්වලාවේ මෙන්ම මුතුරාජවෙලද මෙවන් කිඹුලෝ දක්නට ලැබෙති. ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් මෙවන් (ජලජ) පරිසර පද්ධතිවල කිඹුලන්ට දිවි ගෙවීමට තරම් ඉතා හොඳ පාරිසරික තත්ත්වයක් පවතින අතර, ආහාරද එතරම් දුලබ නොවේ. ඉබ්බන්, මත්ස්‍යයන්. වෙනත් උරගයන්, හාවන්, හඳුන් දිවියන්, ඇතුළු කුඩා ක්ෂීරපායීන් සේම මේ වගුරු ප්‍රදේශ ආශ්රිත ගම්වැසියන්ගේ කුකුළෝ, එළුවෝ හා හරක් පැටවුන් ද බොහෝවිට කිඹුලන්ගේ ප්‍රණීත ආහාරය බවට පත්වෙති. ඒ අතර ඉතාමත් පැහැදිලි කුරුමානමකදී හසුවන වැඩුණු මිනිසකු වුවද කිඹුලාට "නීති විරෝධී ආහාරයක්" නොවේ. ඔබ "ඩිස්කවරි", "බීබීසී වයිල්ඩ් ලයින්" "ඇනිමල් ප්ලැනට්" වැනි වනජීවී වාර්තා චිත්‍රපට නරඹා ඇත්නම් දැවැන්ත බයිසන් ගවයින්, සීබ්රාවුන්, වල්අසුන් වැනි දැවැන්තයෝද කිඹුලන් ඉදිරියේ අහිංසක, පරඬලාපත් බවට පත්වන අයුරු දැක තිබෙන්නට පුළුවන. එවන් විටක පූර්ණ මාංශ භක්ෂකයකු වන කිඹුලාගෙන් මිනිසකු යම් හෙයකින් දිවි ගලවා ගන්නේ නම් එය වාසනාවක්ම වෙයි.
කෙසේ හෝ කිඹුලන්ගෙන් මිනිසුන්ට සිදුවන පහරදීම් සහ මිනිසුන් ගොදුරුකර ගැනීම් ගැන නිරන්තරයෙන් වාර්තා ලැබෙමින් පවතී. නිල්වලාව මෙන්ම මුතුරාජවෙලද ඉන් පළමු තැන ගන්නා ප්‍රදේශ දෙකකි. මීට හේතුව කිඹුලන්ගේ වර්ධනයද "උන්ගේ නිජබිම් අහිමිවීමද යන්න විමසා බැලිය යුත්තකි. අතීතයේදී මුතුරාජවෙල ප්‍රකට වෙල්ලායක් වූ අතර ලන්දේසි කැපූ ඇල හේතුවෙන් මෙය ලවන මිශ්‍රිත වගුරුබිමක් බවට පත්විය. දැන් එය අගනා තෙත්බිමක් වශයෙන් වැදගත් වන අතර අභයභූමියක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබේ. මෙහි කිඹුලන් වැඩි ගහනයක් දිවි ගෙවන අතර කිඹුලන් මස් පිණිස මරා අලෙවි කරන්නන්ගේ තෝතැන්නක් බවටද මුතුරාජවෙල පත්ව තිබේ. මෙවන් හේතූන් හා "කිඹුල් - මිනිස් ගැටුම" අවම කර ගැනීම වෙනුවෙන්" මුතුරාජවෙල කිඹුල් උද්‍යානයක්" ස්ථාපිත කිරීමේ යෝජනාවක් සම්මත වී තිබේ. ඒ අනුව නුදුරේදීම මෙහි කිඹුල් උද්‍යානයක් තැනීමේ කටයුතු වනවජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කිරීමට නියමිතය. ඊට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණයද මීට මාස කිහිපයකට ඉහතදී වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන හා වනජීවී ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.
එවන් තත්ත්වයක් තුළ ඉකුත්දා රාගම ප්‍රදේශයේදී මෙන්ම නිල්වලා ගඟ අසබඩ ප්‍රදේශයේදීත් අවාසනාවන්ත ලෙස මනුෂ්‍ය ජීවිත දෙකක් අකාලයේ කිඹුලන්ගේ ගොදුරු බවට පත්වූහ. දරු පවුල් දෙකක්ම අන්ත අසරණභාවයට පත්කරමින් මෙසේ කිඹුලන් විසින් ගිලදමා මියගියේ තවමත් තරුණ වියවත් නොඉක්ම වූ පියවරු දෙදෙනෙකි. මුතුරාජවෙල ප්‍රදේශයෙන් පැමිණියා යෑයි විශ්වාස කළ හැකි එක් කිඹුලෙක් මෙසේ ජීවිතයක් බිලිගනු ලැබුවේ රාගම නගර මධ්‍යයට නුදුරු කළු ඇළ අසලදීය. එහෙත් ඊට පෙර සිට මෙම ප්‍රදේශයේ කිඹුලන් තිදෙනකු සැරිසරන බවට ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව කියති. එනමුත් වනජීවී නිලධාරීන් ඒ බව තැකීමක් නොකළ බව ප්‍රදේශවාසීන්ගේ චෝදනාවයි.
කෙසේ හෝ මිනිස් ජීවිතයක් කිඹුලාට ගොදුරු විය. එය සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත්විය යුත්තක් නොවේ. එහිදී කළ යුතුව තිබුණේ අදාළ වගකිවයුතු අංශ මැදිහත්ව මේ මිනීමරු කිඹුලා සහ අනෙකුත් කිඹුලන්ද අල්ලා වෙනත් ආරක්ෂිත ප්‍රදේශයකට මුදාහැරීමයි. ප්‍රදේශවාසීන්ට බියෙන් සැකෙන් තොරව දිවිගෙවීමට පරිසරය සකසා දීමයි. එසේනම් ප්‍රදේශවාසීන්ගේ මෙන්ම කඹුලාගේද දිවි බේරාගැනීමට ඉඩ තිබිණි. එහෙත් නිලධාරීන්ගේ කඹ ඇදිලි මධ්‍යයේ ප්‍රදේශවාසීහු ක්‍රියාත්මක වූහ. යකඩ කොක්කකට ඇමක් යොදා ඔවුහු කිඹුලා දඩයම් කිරීමේ කාර්යයට අතගැසූහ. අවසානයේදී ඉකුත් 8 වැනිදා බදාදා මේ ඇමට ගොදුරු කරගත් දැවැන්ත කිඹුලා රාගම කළු ඇළෙන් ගොඩගන්නට ප්‍රදේශවාසීහු සමත් වූහ. එහෙත් අවාසනාවකට මෙන් මේ කිඹුලා "නොදැන කළ වරදට" හොඳටම පහර කෑවේය. තැලීම්, පොඩිවීම්වලට ලක්විය. කැපුම්, කෙටුම්වලටද ලක්විය. ප්‍රදේශවාසීන් කියන පරිදි වනජීවී නිලධාරීන්ගේ ප්‍රමාදයද, මීට හේතුවන්නට ඇත. මේ දිනවල වනජීවී නිලධාරීන්ගේ "අකුරට වැඩ" වෘත්තීය ක්‍රියාමාර්¨ගයද කිඹුලන් "ඇල්ලීමේ මෙහෙයුමට බාධාවක් වන්නට ඇත. කෙසේ හෝ ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගන්නා ලද රාගම මිනීමරු කඹුලා අවසානයේ වනජීවී නිලධාරීන්ට භාර කෙරුණේ මළ කුණකට සමාන වන සේය. වනජීවී නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් ප්රමුඛ වෛද්‍ය කණ්ඩායම කිඹුලා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජාතික සත්වෝද්‍යානයට ගෙනැවිත් භාර කළේය. එහි අධ්යක්ෂ භාෂ්වර ගුණරත්න මහතාගේ මැදිහත්වීම මත කිඹුලා වහා සත්වෝද්‍යාන පශු වෛද්‍ය ඒකකයට භාර කෙරුණු අතර, එහි වෛද්‍ය ජගත් ජයසේකර, පශු වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඩී. එස්. කොඩිකාර මහත්වරුන් වෙත භාර කෙරිණි. එහිදී කිඹුලා සත්වෝද්‍යානයට ගෙන ගිය වාහනය මතදීම පරීක්ෂාවට බඳුන් කෙරුණු නමුත් ඒ වන විටත් කිඹුලා මියගොස් සිටි බව වෛද්‍ය ජගත් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය. එහෙත් පළමු කාර්යය වශයෙන් ඇම සේ යොදා කිඹුලාගේ උගුර ප්‍රදේශයේ හිරවී තිබූ යකඩ කොක්ක ඉවත් කළ බව ද වෛද්‍යවරයා පැවැසීය.
"මෙයා යෝධ ගැට කිඹුලෙක්. පිරිමි සතෙක් වයස අවුරුදු 35 - 40 ක් පමණ බව අනුමාන කරනවා. අඩි 15 ක් දිගයි. කිලෝග්‍රෑම් 800 - 900 ත් අතර බරින් යුක්තයි. මිය යැමට හේතුව ලෙස අප පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනාගත්තේ ඇම ලෙස යොදා ගත් යකඩ කොක්ක උගුර ප්‍රදේශයේ හිරවෙලා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ හානියත්, හිසට තියුණු ආයුධයකින් එල්ල කර තිබූ පහරවලින් මොළයට හා හිස් කබලට සිදුවූ හානියයි.
වැදගත්ම දේ තමයි අපි පශ්චාත් මරණ පරීක්ෂණයේදී කිඹුලාගේ උදරයේ තිබී හඳුනාගත්තා මිනිස් අතක හා කකුළක යෑයි සැක කෙරෙන අස්ථි කොටස්. ඒ අතර එළුවන්ගේ සහ හරකුන්ගේ කුර හා අස්ථි, ඉබ්බන්ගේ දිරාගිය හා නොදිරූ කටු වගේම කිලෝ ගණනාවක පොලිතින් තොගයකුත් හොයා ගත්තා. බොහෝවිට කසළවලට විසිකරන මාළු, මස් යනාදී අපද්‍රව්‍ය මේ මලුවල තිබෙන්නට ඇති." වෛද්‍ය ජගත් ජයසේකර මහතා පැවැසීය.
මිනිස් ඇටකටු යෑයි සැක කෙරෙන අස්ථි කොටස් රාගම පොලිසිය මාර්ගයෙන් අධිකරණ නියෝග යක් මත රාගම අධිකරණ වෛද්‍ය අංශයට යොමු කළ බවද එහිදී වැඩිදුරටත් පරීක්ෂණය කර ඒවා මිනිස් ඇටකටුද යන්න තහවුරු කරනු ඇතැයි යන්නත් මෙහිදී වෛද්‍යවරයා සඳහන් කළේය.
රාගම කිඹුල් සිද්ධිය අවසානයේ කෙළවර වූයේ අහිංසක මිනිස් ජීවිතයක්ද, රක්ෂිත වන සතකුද යන දෙදෙනාටම මරු කැඳවමිනි. එහෙත් මේ සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නම් මේ අවාසනාවන්ත සිදුවීම් දෙකම වළක්වා ගතහැකිව තිබිණි. කිඹුලා මසට ගිජු සතෙකි. ඌට අසුවුවහොත් දිවි ගලවා ගැනීම පහසු දෙයක් නොවේ. එබැවින් කිඹුලන් මිනිස් වාසයෙන් ඈත්කර තැබීම බලධාරීන්ගේ යුතුකමකි. එය එකවරම හෝ නොදැන සිදුවුවහොත් යම්තාක් සමාවක් ලැබිය හැකි කාරණයකි. එහෙත් රාගම ජනතාව කල්තියා මේ අනතුර හඳුනාගෙන බලධාරීන් දැනුවත් කළ බව කියනු ලබද්දී බලධාරීන්ගේ ප්‍රමාදය මීට වගකිවයුත්තේද? කෙසේ හෝ මෙවන් අවාසනාවන්ත සිදුවීම් නොවීමට වගබලාගැනීම මින් මතුවටවත් සිදුවිය යුත්තකි. වහ වහා යෝජිත කිඹුල් උද්‍යානය ස්ථාපිත කිරීම ද මෙවන් ගැටලුවලට පිළියමක් වේ යෑයි අපි සිතමු.





