විශේෂාංග
ඉතින් මොටද අපි ජීවත්වෙලා පුතේ!
බුද්ධි ඉන්දීර ඉගෙනීමට දක්ෂයෙකි. ඔහු අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූයේ ඒ බව තහවුරු කරමිනි. පන්නිපිටිය, ධර්මපාල විද්‍යාලයේ දීප්තිමත්, දක්ෂ ශිෂ්‍යයකුව සිටි මොහු 2012 අගෝස්තු මස පැවැත්වෙන අපොස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම්ව සිටියේය. ගණිතයට අතිවිශිෂ්ටයකු වූ මේ දරුවා ගණිත අංශයෙන් අපොස උසස් පෙළ හැදැරුවේ ඉංජිනේරුවරයකු වීමේ ආශාවෙනි.
ඉලක්කය පසුකර යැමට මාස හයක් තිබියදී බුද්ධි මුළු ධර්මපාල විද්‍යාලයම හඬවා, නිහඬ වූයේ මෙරට බොක්සින් ක්‍රීඩාවට ද ඒ ක්‍රීඩා පුහුණුවීම්වල අඩුපාඩුවක් ද පෙන්වමිනි.
බුද්ධි දැන් මළවුන් අතරය. ඔහු මියගියේ කෙලෙසද? මේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුවන මොහොතක මේ සටහන තබන්නට අපට සිදු වූයේ බොක්සින් පුහුණු සැසියකදී, ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ බොක්සින් පහරකින් මියයැමේ අනුවේදනීය සිද්ධිය නිසාය. මෙය ඉතා කලාතුරකින් සිදුවන මරණයකි. අද ධර්මපාල විද්‍යාලයත්, ඒ විද්‍යාලයේ දරුවනුත් ඉගෙනීම පසෙකට කර, බුද්ධිට වූ නස්පැත්තියෙන් තැවෙන්නේ අතට ගන්නා බත්පත ද පැත්තකට කරමිනි.
බුද්ධිගේ කතාව මෙලෙසය. බුද්ධිගේ පියා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකි. මවත්, බාල සොයුරාත් සමග හෝමාගම, මාගම්මන වටහේන පාරේ පදිංචිව සිටියහ.
බුද්ධි පාසලේ දී ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද දක්ෂතා පෙන්වීය. ගුරුවරුන්ගේ, සහෝදර ශිෂ්‍යයන්ගේ නොමඳ ආදරයට හා ගෞරවාදරයට පත්වූ මේ දරුවා වූෂු ක්‍රීඩාව කරන බව මවට කියා ඇත. සහෝදරයාද ඒ බව දැන සිට ඇත. නමුත් බුද්ධිගේ සිත කෙමෙන් කෙමෙන් බොක්සින් ක්‍රීඩාවට ඇදී ගියේ බොක්සින් ක්‍රීඩාව ඔහුට අමුතු ආශ්වාදයක් ළං කළ නිසාය.
මවටත්, පියාටත් නොකියාම ඔහු පාසලේදී බොක්සින් ක්‍රීඩාව කළේ ඒ අනුවය. මාස අටක් පමණ එක දිගටම බොක්සින් ක්‍රීඩාව ප්‍රගුණ කළ බුද්ධි හොඳ දක්ෂ බොක්සින් ක්‍රීඩකයකු වන ලකුණු පෙන්වීය.
ධර්මපාල විද්‍යාලයේ බොක්සින් පුහුණුව සඳහා හමුදාවේ කීර්තිමත් බොක්සින් පුහුණුකරුවකුගේ සහාය ලැබිණ. ඔහු වසර තිස්දෙකක් බොක්සින් ක්‍රීඩාවේ අත්දැකීම් ලද පුහුණුකරුවෙකි. හමුදාවෙන් විශ්‍රාම යන විට මේජර් නිලයේ සිටි මෙම පුහුණුකරු, ධර්මපාල විද්‍යාලයේ බොක්සින් පුහුණුකරු ලෙස කටයුතු කළේ පාසලෙන් කළ ආරාධනාවකටය.
එළැඹෙන සති කිහිපය තුළ ජාතික බොක්සින් තරගාවලිය පැවැත්වෙන නිසා ධර්මපාල විද්‍යාලයේ බොක්සින් පුහුණුවීම් නිතරම සිදු කෙරිණ. පසුගිය ඉරිදා (05 වැනිදා) ද පාසලේ පුහුණු සැසිය පැවැත්විණි. ජාතික තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසලේ ක්‍රීඩකයන් අතරට හමුදාවේ බොක්සින් ක්‍රීඩකයන්ද පුහුණුවීම් සඳහා යොමු කළේ පාසල් ක්‍රීඩකයන්ටද අත්දැකීම් ලබා ගැනීමටය.
බුද්ධි දක්ෂ බොක්සින් ක්‍රීඩකයකු වන ලකුණු පළ කිරීම නිසා හමුදා සෙබළකු වන බොක්සින් ක්‍රීඩකයකු පුහුණු තරගයකට යොමු කළේ ඒ අනුවය. ගතවූයේ තත්පර කිහිපයකි. බුද්ධි හමුදා සෙබළාටත් හමුදා සෙබළා, බුද්ධිටත් බොක්සින් ප්‍රහාර එල්ල කළේ තරග නීති රීතිවලට අනුවය. අත්වැසුම්, හෙල්මට් පැළඳ ඉතා ආරක්ෂාකාරී ලෙස පුහුණුවීම් සිදු වුවත්, සෙබළ ක්‍රීඩකයාගේ පහරකින් බුද්ධි විසිවී වැටිණ. සෙසු පිරිස බුද්ධි වෙත කිට්ටු වී බලන විට ඔහු සිහිමුර්ජා තත්ත්වයට පත්ව සිටියේය. පාසල් දරුවන්ද, පුහුණුකරුවන්ද යුහුසුළුව ක්‍රියාත්මක වී බුද්ධිව හෝමාගම රෝහලට ගෙන යන විට පෙරවරු 10.15 පමණ වී තිබිණි. ඇතැමුන් නම් කියන්නේ බුද්ධිට අනතුර වී සෑහෙන වේලාවක් ගතවන තුරු ඔහු රෝහල්ගත නොකළ බවය. එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. නමුත් හෝමාගම රෝහලට ගෙන ගිය බුද්ධිගේ තත්ත්වය බරපතළ බැවින් වහාම කොළඹ ජාතික රෝහලට ඔහුව මාරුකර යෑවීමට වෛද්‍යවරු පියවර ගත්හ.
දින පහක් තිස්සේම බුද්ධි මරුවා සමග සටනක නිරත වූයේ ඊට පසුවය. බුද්ධිගේ හිස අභ්‍යන්තරයේ ලේ වහනයක් වී තිබිණි. වෛද්‍යවරු ශල්‍යකර්මයක්ද කළ මුත් මේ දක්ෂ දරුවාව රැගෙන යන්නට මාරයා වලිකෑවේය. හරියටම සිකුරාදා (10 වැනිදා) අලුයම 3.00 ට පමණ මේ දරුවාගේ අවසන් හුස්ම ටික ජාතික රෝහලේ වා තලයට මුසුවිය.
මවට මේ ආරංචිය ලැබෙන විට ඇය සිටියේ කඳුළු ගඟක් මැදය. ඇය පසුගිය 05 වැනිදා සිට හරියට කෑමක්, බීමක් ගත්තේද නැත. අතට ගන්නා තේ වතුර ටිකවත්, උගුරෙන් පහළට නොගියේ අවුරුදු දහඅටක් පුරා හදාවඩා ගත් දරුවාට සිදු වූ නස්පැත්තිය මුළු සිරුරම අප්‍රාණික කර තිබූ බැවිනි. ඇය හඬන්නට ගත්විට බුද්ධිගේ පියාගේද දැසට නැඟුණ කඳුළැලි ඔහු රහසේම පිසදමා ගත්තේ, ඒ කඳුළු දකින විට අම්මා... තවත් දුක්වන බව දන්නා නිසාය. බුද්ධිගේ මල්ලී නම් මවගේත්, පියාගේත් දැස් අගින් ගලායන කඳුළු කැට දෙස බලා සිටියේ "අයියේ අයියාට මුකුත් වෙන්න එපා" යන ප්රාර්ථනයෙනි. මල්ලීද ඉකි ගස ගසා හැඬුවේ... අයියා ඔහුට වීරයකු වූ නිසාය.
බුද්ධි දැන් යන්නම යන්න ගොසිනි.
"මගේ දරුවට මොකක්ද වෙච්ච අපරාදේ" මේ මව කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ හැඬුවේ දැත පපුවේ ගසා ගනිමිනි.
හමුදාවේ උසස් නිලධාරින්ද, පොලිසියද, හදිසි අනතුරෙන් මියගොස් සිටින බුද්ධි වෙනුවෙන්, දිවා රෑ නොබලා වෙහෙසෙන්නට වූහ.
ක්‍රීඩා පුහුණුවීම්වලදී ක්‍රීඩා තරගවලදී මියගිය පළමු ක්‍රීඩකයා බුද්ධි නොවන බව අපි දනිමු. නමුත් මොහුගේ අවාසනාවකට හෝ ඒ වැදුන බොක්සින් පහර නරකට හිටියේය. බොක්සින් ක්‍රීඩාවේ නීති රීති නිසියාකාරව මෙම පුහුණු සැසියේදී වූයේ නම් එම පහර නීති විරෝධී පහරක් නොවේ නම් මෙය බුද්ධිගේ අවාසනාවන්ත, නරක වේලාවක් යෑයි කියා සිත සනසා ගැනීමට අපට සිදුවනු ඇත. එසේ නොවේ නම් බුද්ධිටත්, බුද්ධිගේ දෙමාපියන්ටත් සාධාරණයක් ඉෂ්ට විය යුතුය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හා අධිකරණය මගින් ඒ පිළිබඳ ලබාදෙන නිශ්චිත තීන්දුවක් ලබාදෙන බැවින් මේ දරුවාට අසාධාරණයක් නොවනු ඇත.
බුද්ධි දක්ෂ පාසල් දරුවෙකි. මේ දරුවා නොසිතූ නොපැතූ ලෙස මළවුන් අතරට ගියේ ක්‍රීඩකයකු ලෙසිනි. අනාගතයේ ඉංජිනේරුවකු වන්නට හෝ හොඳ බොක්සින් ක්‍රීඩකයකු වන්නට සිටි මේ දරුවාට වූ අපරාධය පිළිබඳ රටේ කොයි කවුරුත් සුසුම් හෙළති. අනේ අපොයි කියති.
දරුවාගේ හදිසි වියෝවින් තැවෙන, හඬන කම්පාවෙන මවත්, පියාත්, සහෝදරයාට පමණක් නොව හමුදා සෙබළාටත්, හමුදා නිලධාරීන්ටත් රටේ හදවත් ඇති ජනතාවටත් ක්‍රීඩා ප්‍රේමීන්ටත්, බුද්ධිගේ මරණය මෙන්ම බුද්ධිගේ නාමය ද අමරණීය වනු ඇත.



