"මගේ දරු දෙදෙනාත්, අම්මා සහ අක්‌කාත් මට පෙනි පෙනී ගින්නට බිලි වුණා"

- වෑන් රියේ රියෑදුරු වැළපෙයි
"මට පෙනි පෙනී මගේ පුතාලා දෙදෙනාත්, අම්මත්, අක්‌කාත් වෑන් රථය තුළදීම ගින්නට බිලිවුණා" යෑයි උතුරු කළුතර දියගම ගල්පාත ප්‍රදේශයේදී ගින්නට බිලි වූ වෑන් රථයේ රියෑදුරු වන අරකාවිල හඳපාන්ගොඩ පදිංචි හතළිස් හැවිරිදි ලසන්ත දීපාල් මහතා වැළපුණේය.
කළුතර නාගොඩ රෝහලේ 5 බී වාට්‌ටුවේ ප්‍රතිකාර ලබන ඔහු කඳුළු සලමින් මෙසේද කීවේය.
"බේරුවල මාගල්කන්දේ ඥාතියකුගේ මළ ගෙදරකට අපි පෙරේදා (25 වැනිදා) පැමිණ රාත්‍රියේ නැවත හඳපාන්ගොඩ යන්න පිටත් වුණා.
අතරමඟදී වාහනයේ දෝෂයක් ඇතිවුණා. එය සාදාගෙන ටික දුරක්‌ගිය විට එක පාරටම ශබ්දයක් ආවා. ඉදිරිපස ආසනවල සිටි මමත් බිරිඳත් වාහනයෙන් පැන ගත්තා. තවත් කිහිපදෙනෙක් වාහනයෙන් පැනගත්තා. ඒත් මගේ දරු දෙදෙනාත් අම්මාත්, අක්‌කාත් මා ඉදිරිපිටදීම වෑන් රථය තුළදී ගින්නට හසුවුණා. මට දැන් මොනවා කරන්නද කියා සිතාගන්නත් බැහැ."



