තංගල්ලේ මිනී මරුවෝ යලි රිමාන්ඩ්
තංගල්ලේ සංචාරක හෝටලයක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් පස්‌දෙනා තංගල්ල මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය හමුවට ඊයේ (20 දා) ඉදිරිපත් කරන ලද අතර ඔවුන් පෙබරවාරි 3 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.
ඊයේ (20 දා) අධිකරණයට කරුණු දැක්‌වූ විත්තියේ නීතිඥවරු බන්ධනාගාරගත කර සිටින ප්‍රාදේශීය සභා සභාපතිවරයාට මෙම 26 වැනිදා පැවැත්වෙන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්‌වීමට සහභාගිවීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ මහෙස්‌ත්‍රාත්වරිය ඒ පිළිබඳ තීරණයක් දීමට තම අධිකරණයට බලයක් නැති බවත් ඒ පිළිබඳ ඉහළ අධිකරණයකින් අවසර ගත යුතු බවත් දැනුම් දුන්නාය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පැමිණිල්ල ඉදිරිපත් කළ අතර විත්තිය වෙනුවෙන් නීතිඥ ශිරාෂ් යූෂුප්, තිලානි ලියනාරච්චි, ඉෂාන්ත පුංචිහේවා, නලින්ද වීරකෝන්, ධම්මික වෙදගේ යන නීතිඥවරු පෙනී සිටියහ.



