දරුවා සමඟ ළිඳට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ කතට අත්හිට වූ සිර දඬුවම් සහ දඩ
ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ බැන්ඩියමුල්ලේ පදිංචි කාන්තාවක් 2006 වර්ෂයේ නොවැම්බර් 23 දින හෝ ඊට ආසන්න දිනයකදී තමා පදිංචිව සිටි නිවසේදී සැමියාගේ හා සැමියාගේ මවගේ නොහොඳ නෝක්කාඩුවක් මත සිය මාස 09 වියැති සිඟිති දියණියද සමඟ නිවෙස අසල ළිඳට පැන දිවිනසා ගැනීමට තැත් කිරීම, එම ක්‍රියාවලියේදීම එම සිඟිති දියණිය මියයෑම යන චෝදනා මත එම කාන්තාවට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
චෝදනාවට වරද පිළිගත් කාන්තාවටත්, අදාළ පවුලේ සැමටද මේ සිද්ධිය සම්බන්ධව යහපත් ගෘහජීවිතයක් ගෙනයාමට අදාළව දීර්ඝ අවවාදයක් කළ මහාධිකරණ විනිසුරුවරයා නිවාසවල වැඩිහිටියන්ද තම විවාහක දූදරුවන්ට නිදහස්ව, සාමයෙන්, පවුල් ජීවිතය ගෙනයෑමට අවශ්‍ය පසුබිම සකස්කර නොදුනහොත්, පවුල් අවුල් නිරතුරු ඇතිවීමට ඉඩ ඇති බවද පැවැසීය.
චෝදනා ලැබූ තැනැත්තියගේ මානසික තත්ත්වය යහපත් අයුරු ගොඩනඟා ගැනීමට සහය දිය යුතු බවද පැවැසීය.
චෝදනාවට වරද පිළිගත් කාන්තාවට වසර දෙකක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 10කට අත්හිටුවීමටද නියෝග කළේය. එයට අමතරව රුපියල් 2000/-ක දඩ මුදලක්ද නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ චතුරංගි මහවඩුගේ මෙනෙවිය පෙනී සිටියාය. දඬුවම් නියම වුවේ ප්‍රියන්ති දිස්නා නැමැත්තියකටය.
.



