මහනුවර කොස්තාපල් ඝාතනයේ සුල මුල හෙළිවෙයි
මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය එම ඝාතනයෙන් පැය 72ක් ඉක්ම යන්නට පෙර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය. ඝාතනයේ ප්‍රධාන සැකකරු ද පොලිස් කොස්තාපල්වරයකු වන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ ඔස්සේ ලිපිය සකස් වී ඇත.
නාඳුනන මළ සිරුරක් මහනුවර වාකර්වත්ත රක්ෂිතයේ රජපිහිල්ල ආසන්නයේ වන ලැහැබක ඇති බවට ඉකුත් 21දා දහවල් මහනුවර පොලිසියට දුරකතන ඇමතුමක් ලැබුණි. දුරකතන ඇමතුම ලබා දී තිබුණේ එම ප්‍රදේශය ආසන්නයේ පදිංචිකරුවකු විසිනි. තම ගවයින් දිගඑළි කරන්නට වන ලැහැබට ගිය අවස්ථාවේ මළ සිරුර තමන් දුටු බව ඔහු පොලිසියට කියා තිබුණි.
පස්වරු 2.30ට පමණ ලැබුණු එම දුරකතන ඇමතුමත් සමඟ පොලිස් කණ්ඩායමක් පැයක් පමණ ඇතුළත එම ස්ථානයට ළඟා විණි. මළ සිරුර තිබූ ස්ථානය අසළින් වැටී තිබූ අඩි පාර මත තිබී පොලිස් නිලධාරීන් සඳහා එම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් පොලීසියට හමු විය. එය මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් ටී. ජී. අනුර බණ්ඩාරට අයත් හැඳුනුම්පත විය.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල මහතාගේ විශේෂ උපදෙස් මත අදාළ ස්ථානයට පරීක්ෂණ සඳහා ගිය මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එස්. උවින්දසිරි මහතා ඇතුළු කණ්ඩායම අදාළ හැඳුනුම්පතේ හිමිකරු වන අනුරව හොඳීන් හඳුනති. ඒ ඔවුන් නිරතුරුව මහනුවර පොලිස් මූලස්ථානය තුළදී හමුවන බැවිනි. අනුරගේ හැඳුනුම්පත මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න සිතන්නටත් පෙර මුනින් අතට වැටී තිබූ මළ සිරුර තම හිතවතාගේ බව පොලිස් කණ්ඩායමට පෙනී ගියේය.
විවෘත තීන්දුවක්
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ ඒ. බී. සෙනෙවිරත්න මහතා හිසට බරපතල තුවාල සිදුවීමෙන් මරණය සිදුව තිබෙන බව නිගමනය කරමින් විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
වෙනත් ස්ථානයකදී මේ ඝාතනය සිදු කර මෙම ස්ථානයට මළ සිරුර ගෙනවිත් දැමුවේද යන ප්රශ්නය පොලීසියට මුලින් පැන නැගුණි. එහෙත් තම අත්දැකීම් තුළින් උවින්දසිරි මහතා පැවසුවේ ඝාතනය මෙම ස්ථානයේදීම සිදුකර තිබෙන බවයි. කමිසය යට කර මේස් සපත්තු දමා සිටි මියගිය පුද්ගලයාගේ එම ඇඳුම් පැළඳුම් පිළිවෙළකට තිබීම තුළින් ඔහු මෙම ස්ථානයට ඝාතනය කැර රැගෙන ආ බවට අනුමාන කළ නොහැකිය යන ස්ථාවරයේ සිටි උවින්දසිරි මහතා එසේ වූයේ නම් කමිසය උඩට ඇදී සපත්තු ගැලවී තිබිය යුතු බව සිය සගයින්ට කීවේය.
අරක්කු බෝතලයක්
ප්ලාස්ටික් කෝප්ප තුනක් ද, ගිනි පෙට්ටියක් ද, බිඳී ගිය අරක්කු බෝතලයක කොටස් ද අදාළ ස්ථානයේ තිබී පොලීසිය සොයා ගත්තේය. මළ සිරුර තිබූ ස්ථානයට මද දුරකින් නිවී ගිය ගිනි මැලයක සුන්බුන් ද දැකගත හැකි විය. මේ ඝාතනය කුමක් හේතුවෙන් සිදුකළේද යන්න පොලීසියට උභතෝකෝටික ප්‍රශ්නයක් විය. ඝාතනයට ලකවූ අනුර බණ්ඩාර පොලිස් සේවයට එක්ව තිබුණේ 1993 වසරේදීය. විසි එක් වන වියේ පොලිස් සේවයට එක්ව මිය යන විට ඔහු වසර 19ක සේවා කාලයක් සම්පූර්ණ කැර තිබිණි. ත්‍රස්තවාදී ගැටුම් පැවති සමයේ බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබ සිටි ඔහු තරමක් ආබාධිත තත්ත්වයේ පසු විය. මේ නිසාම ඔහු පොලිස් නිල ඇඳුම වෙනුවට නිතරම සිවිල් ඇඳුමෙන් සැරසී සිටියේය. දෙදරු පියකු වන අනුර පදිංචිව සිටියේ කුණ්ඩසාලේ මහවත්තේය.
ඉකුත් 19 දා පස්වරු 4.30 ට ඔහු සේවා මුරය අවසන් කැර පොලිිසියෙන් පිටව ගොස් තිබේ. එදින ඔහු ගෙදර ගොස් නොතිබුණි. පසුදිනද ඔහු නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිය බලගොල්ල පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් කැර ඇත.
ඝාතනය සම්බන්ධ කිසියම් හෝඩුවාවක් සොයා ගැනීම සඳහා පොලීසිය උපරිම උත්සාහයක් ගත්තේය. පොලීසියේ මිනිහෙක් මරලත් පොලීසියට ඒක සොයාගන්න බැහැ කියන චෝදනාව කොයි මොහොතේ හෝ ජනතාවගෙන් එල්ල වීමට ඉඩක් ඇති බව පරීක්ෂක කණ්ඩායම දැන සිටියේය.
’වාකර් වත්තේ රජපිහිල්ල ගාව පොලිසියෙ දෙන්නෙක් ගහගෙන’ කියන තොරතුර අපරාධ අංශයේ පොලිස් සැරයන් 4215 ජයන්ත බණ්ඩාර නවරත්නට ලැබුණේ මේ මොහොතේ දීය. නවරත්නට මෙම තොරතුර ඉඩෝරයට පොද වැස්සක් වැටුණාක් මෙන් විය. ඔහු වහා මෙම තොරතුර තම ප්‍රධානියා වන අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ලබා දුන්නේය. එම තොරතුර ඔස්සේ හඹා ගිය පොලීසිය ගැටුම පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. අනුර ඝාතනය හා ඔහු පැවසූ ගැටුම අතර සම්බන්ධයක් ඇති බව පොලීසිය ඔහුගෙන් අනාවරණය කරගත්තේය. එම පුද්ගලයා මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට ත්‍රිරෝද රථයක් පදවන්නෙකි.
තම ඥාති සහෝදරයකු වන රංජිත් නමැති පොලිස් නිලධාරියාත් ඔහුගේ හිතවතකු වන මියගිය අනුරත් සමඟ තම ත්‍රිරෝද රථයෙන් 19 දා පස්වරුවේ රජපිහිල්ල අසලට ගිය බව ඔහු කීවේය. එහිදී මත්පැන් පානය කිරීමෙන් පසු රංජිත් හා අනුර අතර ගැටුමක් ඇතිවූ බවත් එය දුර දිග ගිය නිසා තමන් ඔවුන් දෙදෙනා එහි දමා ත්‍රිරෝද රථයෙන් ආපසු පැමිණි බවත් ඔහුගේ ප්‍රකාශ ලෙස පොලිස් පොතේ සටහන් විය.
අනියම් සම්බන්ධයක්
පොලිස් නිලධාරියකුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා වන පොලිස් පරීක්ෂණ එම තොරතුරු ඔස්සේ ඇරඹුණි. රංජිත් නැමැති සැකකාර පොලිස් නිලධාරියා පිළිබඳ පොලීසිය තොරතුරු එක්රැස් කළේය. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ආනන්ද විජේසූරිය, මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. බී. පෙරමුණ, පොලිස් අධිකාරි එච්. බී. මහගෙදර, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. බී. පලිහවඩන යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ ඇරඹිණි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලීසියටද අනුයුක්තව කලක් සේවය කැර පසුව යාපනය කයිට්ස් පොලිස් ස්ථානයට එයට දෙවසරකට පමණ ප්‍රථම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාරුවී ගොස් ඇති බව පොලීසිය අනාවරණය කැර ගත්තේය. එක්දරු පියකු වන ඔහු 1992 වසරේදී පොලිස් සේවයට එක්ව ඇත. තම ඥාතියකුගේ මළ ගෙදරකට සහභාගි වීම සඳහා ඉකුත් 15 දා මහනුවරට පැමිණ ඇති ඔහු 21 දින යළි කයිට්ස් බලා ගොස් ඇති බව පොලිසිය තහවුරු කැර ගත්තේය.
වහා ක්‍රියාත්මක වූ අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එස්. උවින්දසිරි මහතා පොලිස් පරීක්ෂකවරුන් වන ගුණසේකර, රාජපක්ෂ පොලිස් සැරයන් 4215 නවරත්න, පොලිස් සැරයන් 25597 ඒකනායක, පොලිස් කොස්තාපල්වරුන් වන 35411 හේරත්, 32870 ඉන්දික, 47236 චන්ද්‍රසේන, 39418 විතාරණ, පොලිස් සහායක සේවා 1055 බන්නැක යන අයත් සමඟ 22 දා රාත්‍රියේම යාපනය බලා පිටත්වූහ. සැකකරු කයිට්ස් සිට ප්‍රභූ ආරක්ෂක රාජකාරියක් සඳහා යාපනයට පැමිණ සිටියදී පොලීසිය අත්අඩංගුවට ගත්තේය. සැකකරු මහනුවරට 23දා පස්වරු 6.00ට පමණ රැගෙන එන විට පොලිස් කණ්ඩායම කිලෝ මීටර් 700ක පමණ දුරක් ගෙවා දමා තිබිණි.
නිවාඩුවට සෙට් වෙලා
අනුර මගේ යාළුවෙක්. අපි නිවාඩු වෙලාවට එකට සෙට් වෙලා අඩියක් ගහනවා. පසුගිය 19 දා හවස අනුර ඕෆ් වුනාට පස්සේ අපි එළියෙදි හමු වෙලා බෝතලයකුත් අරන් මගේ ඥාාතියෙකුට අයත් ත්‍රිරෝද රථයෙන් රජපිහිල්ලට ගියා. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ රංජිත් කියාගෙන ගියේය. යන අතරමඟදී ප්ලාස්ටික් කෝප්ප තුනක්, බයිට් එකට කුකුල් කකුලක් හා ගිනි පෙට්ටියක්ද මොවුන් රැගෙන ගොස් තිබේ.
අපි පැය කිහිපයක් එතන කතා කරමින් මත්පැන් පානය කළා. කළුවරත් මදුරුවනුත් නිසා අපි පොඩි ගිනි මැලයක් එතන ගහගත්තා. කාන්තාවන්ගෙන් අනුරට නිතර කෝල් ආවා. ඔහුට අනියම් සබඳතා කිහිපයක් තිබෙන බව කිව්වා. උඹට දරුවෝ ඉන්නවා නේද කියලා මම කිව්වම මිනිහට තරහ ගියා. මට බනින්න ගත්තම අපි යමු කියලා මම කිව්වා. එතකොට බෝතලේ අරක්කු කාලකට අඩුවෙන් ඉතුරු වෙලා තිබුණා. මම ඒක මගේ දකුණු අතට ගත්තා. අඩි පාර දිගේ පාරට එනකොට අනුර මගේ බෙල්ලෙන් අල්ල ගත්තා. මම අත ඇරපං කිව්වත් මිනිහා අත හැරියේ නැහැ. මම අතේ තිබූ බෝතලෙන් පාරක් අනුරගේ හිසට ගැහුවා. ඒකටත් එයා මෙල්ල නොවුණු නිසා වැර යොදලා තවත් පාරක් හිසට ගැහුවා. මම මිනිහව තල්ලු කරලා දාලා පයින්ම මහාමායා එක කිට්ටුවට ඇවිත් පේරාදෙණියේ පිහිටි මගේ ගෙදර ගියා.
අනුරට තමා බෝතලයකින් පහර දුන් බවත් ඔහු මිය ගියේද නැද්ද යන්න ;නාදන්නා බවත් තම බිරිඳට පවසා ඇති රංජිත් පසුදින බිරියගේ ඥාතියකු වූ ත්‍රිරෝද රථ රියදුරා හමුවී සිද්ධිය පිළිබඳ කිසිවකුටත් නොපවසන ලෙස කියා 22 දා අලුයම සේවයට ගොස් තිබේ. තමන් එතෙක් කල් වවා තිබූ ඝන උඩු රැවුල මෙම ඝාතනයෙන් පසු කපා දැමීමට ද ඔහු පියවර ගෙන ඇත. මෙම පහරදීමෙන් අනුර මියගොස් ඇති බව රංජිත් දැගෙන ඇත්තේ බිරිය විසින් ලබාදුන් දුරකතන ඇමතුමකිනි.
පොලිසියේ දෙදෙනෙක් රජපිහිල්ල ළඟ ගහගත් බව ත්‍රිරෝද රථ රියැදුරාගේ මුවින් නොගිලිහෙන්නට තවමත් අනුරගේ ඝාතනය අභිරහසක් වන්නට ඉඩ තිබිණි.



