ලිංගික අපයෝජන චෝදනා මත ජ්‍යෙෂ්ඨ සිසුහු 3ක් රිමාන්ඩ්
පේරාදෙණිය සරසවියේ නවක වද සිද්ධිය
තවත් සිසුහු 22ක් ඇප මත මුදා හැරෙති
සිසුවියෝ 4ක් ද ඒ අතර
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට ලිංගික අපයෝජනයක් සිදුකර අමානුෂික ලෙස නවක වදය පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි සිසුන් විසිපස් දෙනකු අතරින් තිදෙනකු පෙබරවාරි 9දා තෙක් රක්ෂික බන්ධනාගාර ගත කළ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා, සෙසු සිසුන් විසිදෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ (26) මුදාහැරියේය.
ලිංගික අපයෝජන චෝදනාව එල්ල වූ සිසුන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔවුන් ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.
ශරීර ඇප මත මුදා හළ සිසුන් විසිදෙදෙනා අතර සිසුවියෝ සිවුදෙනෙක් ද වෙති. අමානුෂික නවක වදය ලබාදීමේ චෝදනාව ඔවුනට ද එල්ල වී තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූයේ චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අයයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ නොතීසි මත මෙම සිසුහු ඊයේ අධිකරණයේ පෙනී සිටියහ.
එහිදී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් දුක් මහන්සියෙන් හම්බකොට ලොකු මහත් කළ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුළු වී උසස් අධ්‍යාපනය ලබන විට දෙමව්පියන් ලබන්නේ අහිංසක සතුටක් බවත්, එම සතුට විනාශ කරමින් මේ දරුවන් ඉගෙන ගැනීම පසෙක තබා අන්‍යයන්ට හිරිහැර කිරීමෙන් ලබන සතුට කුමක්ද යන්න ප්‍රශ්නයක් බවත්, මහේස්ත්‍රාත් අරවීන්ද්ර ප්‍රේමරත්න මහතා පැවැසීය.
ශරීර ඇප මත මුදාහළ සිසුන් විසිතුන්දෙනා පෙබරවාරි 6 ත් 10 තත් අතර කාලයේ කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශ ලබා දිය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් පමුණුවන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව, අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය අධිකරණය හමුවේ බී වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළේය.
පොලිස් අධිකාරි සුදත් නාගහමුල්ල මහතා අධිකරණය හමුවේ මෙසේ ද කීය. “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත මෙම සිසුන් 25, අධිකරණය හමුවට කැඳවා තිබෙනවා. ඔවුන් අතරින් පළමු සිසුන් තිදෙනා ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස පරීක්ෂණ සිදුකරමින් සිටිනවා.
අපගේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.තවද, සෙසු සිසු සිසුවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද ඉල්ලීමක් කර සිටිනවා.
සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඉහත නියෝගය ලබා දුන්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ ද කීය.
“මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.
ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න.
ඇපමත සිටින සිසුන් ඉදිරි කාලයේ තවදුරටත් නොමනා ක්‍රියාවල හෝ ප්‍රචණ්ඩකාරී, ආවේගශීලී ක්‍රියාවල නිරත වූ බවට තොරතුරු ලැබුණහොත්, රක්ෂිත බන්ධනාගාරගත කරන බවත්, දැඩි නීතිරීති යටතේ සිටීමට සිදුවන බවත් තරයේ මතක තබා ගන්න.” විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සුදත් කරවිට, තිස්ස මාරාහෙල,, ප්‍රදීප් රණසිංහ ඇතුළු නීතිඥ මහත්වරුන්, රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් තිදෙනාට ඇප ලබාදෙන මහාධිකරණය වෙත ඇප ඉල්ලුම්පතක් ගොනු කිරීමට කටයුතුª යොදා තිබේ.
අදාළ නඩුව පෙබරවාරි 9 දින යළි කැඳවයි.
.



