මැගසින් සිරගෙදර යුද්ධයේ සැලසුම්කරුවෝ හඳුනා ගැනෙති
- නිලධාරීහු 2 ක් හා කුඩු මුදලාලිලා 8 ක් හවුල්
වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරමින් සිටි නිලධාරීන්ට පහරදී ලේඛනාගාරය ඇතුළු ගොඩනැඟිලි කීපයකට ගිනිතබා සිදු කළ මහා විනාශය සැලසුම් කර ඇත්තේ බන්ධනාගාර නියාමකවරයකු ඕවර්සියර්වරයකු සහ ප්රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන් 8 දෙනකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය හා රහස් පොලිසිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් සහ බන්ධනාගාරය මගින් පැවැත්වූ විශේෂ පරීක්ෂණයකදී මෙම ප්රහාරයේ සැලසුම් සකස් කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.
නව මැගසින් බන්ධනාගාරයේ ප්රධානියා ලෙස බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් මහතා පත්වීමෙන් පසු බන්ධනාගාරය තුළ සිදුවූ මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කප්පම් ගැනීම්, ඇතුළු විවිධ ජාවාරම් නතර කෙරිණි.
මේ හේතුව නිසා මෙම නිලධාරීන්ගේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ආදායම් මාර්ග සියල්ල ඇහිරිණි. මේ නිසා බන්ධනාගාර අධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට මෙම මහා විනාශය මොවුන් විසින් සැලසුම් කර ඇති බව මේ වනවිට හෙළි වී ඇත.
තොරතුරු ලැබී ඇති අන්දමට මෙම ප්රහාරක සැලසුමට සම්බන්ධ නියාමකවරයා මත්කුඩු ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යමින් අති විශාල ධනයක් උපයන පුද්ගලයෙකි. මොහු සුපිරි නිවාස වාහන පරිහරණය කරන අතර සිය පවුලේ සාමාජිකයන් සමග ඉදිරි දිනයකදී ඩුබායි සංචාරයක් යැමට ද සූදානමින් සිටියේය. ඊට ඕවර්සියර් ද විශාල ධනයක් උපයාගෙන සුපිරි ජීවිතයක් ගත කරන පුද්ගලයකු බව හෙළිදරව් වී තිබේ.
මෙම ප්රහාරක සැලසුම ක්රියාත්මක කළ මත්කුඩු ජාවාරම්කරුවන් අතර දෙමටගොඩ රාජා, ආමි තුෂාර, සමන්ත, සමන්, කොණ්ඩ අමිල, ඩික්සන්, ශිරාස් භාෂික්, කේ. එµa. සමන් යන පුද්ගලයන් සිටින බවට ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාරය තුළ සිදු කළ මෙම මහා විනාශයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්රියාත්මක කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටියි.
කොළඹ අපරාධ කොට්ඨාසය, රහස් පොලිසිය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මේ වනවිට බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ගෙන් සහ බන්ධනාගාර නිලධාරීන්ගෙන් කටඋත්තර සටහන් කර ගනිමින් සිටී.
මේ අතර නව මැගසින් බන්ධනාගාරයේ ප්රධානියකුව සිටි නිලධාරියෙක් සුපිරි නිවාස 6 ක් ඉදි කර සුඛෝපභෝගී වාහන 6 ක් පරිහරණය කරමින් සිටින බවද වාර්තා වෙයි.
මෙම නිලධාරියා නව මැගසින් බන්ධනාගාරයෙන් මාරු වී යද්දී සිරකරුවන් සමග පැය ගණනක් සාකච්ඡා කර ගිය බවට ද තොරතුරු ලැබී ඇත.



