සැකකරුවන් හඳුනාගැනීමට රුසියානු තරුණිය අසමත් වෙයි
තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඊයේ(05) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබේ.
සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පෙරට්ටුව සැඟවී හඳුනාගැනීමේ පෙරට්ටුවක් ලෙස පැවති බව ද සඳහන්ය.
සැකකරුවන් පස්දෙනෙකු මේ සඳහා ඉදිරිපත් කර තිබූ අතර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා ද මෙම සැකකරුවන් අතර විය.
ඝාතනයට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ රුසියානු ජාතික සහකාරිය ඇතුළු සාක්ෂිකරුවන් 14 දෙනෙකු අදාළ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කර තිබිණි.
කෙසේවෙතත් එම රුසියානු ජාතික තරුණිය අදාළ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර සෙසු සාක්ෂිකරුවන් 13 දෙනා විසින් සියලුම සැකකරුවන් හඳුනාගෙන තිබේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වැනිදා තංගල්ල ප්‍රදේශයේ හෝටලයක ඇතිවූ ගැටුමකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වූ අතර ඔහුගේ සහකාරිය වූ රුසියානු ජාතික කාන්තාව බරපතල තුවාල ලැබුවාය.



