Hot News

සුසන්තිකාට මොකද වුනේ ? මෙන්න විස්තරේ…..

සුසන්තිකාට මොකද වුනේ ? මෙන්න විස්තරේ…..

ඇය හදිසියේ අසනීප වීමත්, ඉන් අනතතුරුව ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත්ව ඇති බව සඳහන් පුවතත් මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව ලොකු කුඩා කා අතරත් කතා බහට ලක්‌වන පුවතක්‌ බවට පත්වන්නේ සුසන්තිකා යනු ලෝකය හමුවේ මවුබිම ඉහළ තලයකට රැගෙන යැමට ඇය දැරූ වෙහෙස මහන්සිය පිළිබඳ වෙනම පරිච්ඡේදයක්‌ මෙරට ඉතිහාසය තුළ සඳහන්ව ඇති බැවින් ය.
එබැවින් ඇය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් සුසන්තිකා ජයසිංහව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරන්නේ ඉකුත් 29 දා පස්‌වරුවේ ය. ඒ වන විටත් දියතලාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සුසන්තිකාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිලිමත්වන වෛද්‍යවරු විසින් ඇයට මූලික ප්‍රතිකාර සපයමින් සිටි අතර කොළඹ සිට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක්‌ දියතලාව බලා පිටත්ව යැමට ගුවනට නැගෙන්නේ හැකි ඉක්‌මනින් ඇයව කොළඹ ජාතික රෝහලට රැගෙන ඒම පිණිසය.
ගුවන් හමුදාව, ක්‍රීඩා අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්‌ව ඩෙංගු උණ රෝගී තත්ත්වයේ පසුවන සුසන්තිකා ජයසිංහව වෛද්‍ය හෙදි කාර්ය මණ්‌ඩලයක පූර්ණ අවධානය යටතේ එලෙසින් කොළඹ ජාතික රෝහලට රැගෙන ආ අතර මෙය ලියන මොහොත වන විටත් ඇය පසුවන්නේ ජාතික රෝහලේ කායික වෛද්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්ය.
ඉකුත් 30 දා වනවිට ඇයගේ රෝගී තත්ත්වය පිළිබඳ විමසීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ සුසන්තිකා ජයසිංහට වැළඳී ඇත්තේ ඩෙංගු රෝගී තත්ත්වයක්‌ වුවද නිසි ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවය. 30 දා දහවල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අප කළ විමසීමට වැඩිදුරටත් පිළිතුරු දුන් ඒ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ තව දින කීපයක්‌ තුළ සුසන්තිකා ජයසිංහගේ රෝගී තත්ත්වය මුළුමනින් ම සාමාන්‍ය අතට පත්වීමෙන් අනතුරුව ඇයට රෝහලින් පිටව යැමේ හැකියාව පවතින බවත් ය.
යුගයන් විසින් වරින් වර ස්‌වර්ණමය මිනිසුන් නිර්මාණය කරන අතර මෙරට සම්බන්ධයෙන් ගත් කල සුසන්තිකා ජයසිංහ යනු එවැනි තැනැත්තියකි. ඇයගේ රෝගී තත්ත්වයත් සමඟ සියලු අංශ එක්‌ව ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසිලිමත් වීම සහ ඒ සම්බන්ධව මැදිහත්වීම අගය කළ යුතු කාර්යයක්‌ වන්නේ ඉහත සඳහන් හේතුන් නිසාවෙනි.

* රුවන් ජයවර්ධන

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!