Hot News

මංගල සාරිය වෙනුවට කසාවතින් සැරසී මහණ දම් පිරිම තෝරාගත් රූමත් යුවතියගේ කතාව

මංගල සාරිය වෙනුවට කසාවතින් සැරසී මහණ දම් පිරිම තෝරාගත් රූමත් යුවතියගේ කතාව

අතුරුගිරියේ ධම්ම සුජාතා මෙහෙණින් වහන්සේගේ කතාව ඔබට මතක ඇතැයි සිතමු. රූබර තරුණියක්‌, මුඩුකරගත් හිසෙන් යුක්‌තව කසාවතක්‌ දරා ගත් කතා පුවත අන්තර්ජාලයේ සහ මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ පසුගිය සති කිහිපය තිස්‌සේ ප්‍රචාරය විය.
ඇය උපත ලබා ඇත්තේ යමක්‌කමක්‌ ඇති පවුලකය. මේ පවුල් පරිසරය තුළ කිරිල්ලියක සේ සැහැල්ලුවෙන් ඇය හැදී වැඩී ඇත්තේ සහෝදරියන් දෙදෙනෙකු ද සමඟය. අධ්‍යාපනය සඳහා ඇය ඇතුළත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක්‌ මෙන්ම බුදු දහමෙන් සිය අධ්‍යාපන මඟ සපුරා පෝෂණය කර ගන්නා කොළඹ -7, මියුසියස්‌ විද්‍යාලයෙනි. ඇය විද්‍යාලයේදී දක්‌ෂතා ප්‍රකට කළ දැරියක්‌ වූවාය. සිය අධ්‍යානපන මඟ නිරවුල් කරගත් ඇය, නිතර කල්පනා කරන්නට ඇත්තේ තමන්ගේ සංසාර ගමන පිළිබඳවය. සසර බිය පිළිබඳව අල්පයක්‌ හෝ දැනුණු යමෙක්‌ තුළ වේද, ඕනෑම තැනකදී, ඕනෑම දෙයකදී, මඩෙන් නෙළුම මතුවෙන්නා සේ ඒ තැනැත්තා තුළ මතු වන්නේ මේ ඝෝර සසරෙන් මිදෙන මඟය. මේ සංසාර වාසනාව ඇය රැගෙන ආවේ යුවතියක්‌ ලෙස දුටු සැණින් ඕනෑම කෙනෙකුගේ ඇස ඇය වෙත යොමුවීමේ රූප සම්පත්තිය සමඟය. ඇය පාසල් යන කාලයේදී මුළුගැන්වී පැත්තකට වී පොතට ඔලුව නමාගෙන සිටි කෙල්ලක නොවූවාය. ඇය සමාජශීලී වූවාය. ගීතයට, නර්තනයට, මෙන්ම බෙර සහ ගිටාර් වාදනය සඳහා සමත්කම් දැක්‌වීය. සසර කලකිරුණු කිසිදු ආකාරයක්‌ඇය තුළ නිරූපණය නොවීය. නමුත් සංසාර පින ඇය තුළින් සෑම මොහොතකම මතු වූයේ පතාගෙන පැමිණි අරමුණ අත නොහරින ප්‍රාර්ථනාවේ බල මහිමය සමඟය.
උසස්‌පෙළ හොඳින් සමත් වී, මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළු වූ චතු, එහිදී හදාරනු ලැබුවේ, ඇඟලුම් පිළිබඳ උපාධි පාඨමාලාවකි. උපාධිය සාර්ථක ලෙස නිමකළ චතු රැකියාව සඳහා තෝරා ගන්නේ රටේ තිබෙන ප්‍රධානම ආයතනයක්‌ වන මාස්‌හෝල්ඩිංග්ස්‌ය. ඒ අතරේදී ඇයගේ සංසාර ප්‍රාර්ථනය යළි මුදුන් පත් වන්නට වූයේ, සාමාන්‍ය යුවතියන් එම කාලයේදී දකින බොළඳ හීන රැල්ලේ ගසා නොයමින්ය. උතුම් බුද්ධ වචනය ඇය සිය භාවිතයෙන්ම පුරන්නට පටන් ගත්තාය. දැන් ඕ තොමෝ අතුරුගිරියේ ධම්ම සුජාතා මෑණියන්ය.
මේ කතාවේ ඉතිරි කොටස පිළිබඳව බොහෝ දෙනාගේ උනන්දුවක්‌ ඇතිවී තිබුණි. එය ධර්ම මාර්ගය පිළිබඳ උනන්දුවකට වඩා, ඔද වැඩී ගිය ඕපාදූප මානසිකත්වයක්‌ බව කිව හැකිය. “මොකක්‌ හරි ප්‍රශ්නයක්‌ වෙන්න ඇති…” “ඔය ප්‍රේම සම්බන්ධයක්‌ වගේ දෙයක්‌ නිසා වෙන්න ඇති …” වැනි කතාබස්‌ ඒ පිළිබඳව සමහරුන්ගේ මතය වී තිබුණු බව පෙනුණි. එවැනි ප්‍රශ්නයක්‌ මගින් නිරාමිස සුවය සොයා ගිය උත්තමාවියක්‌ පිළිබඳව තේරුම් ගැනීම ම ප්‍රශ්නයකි. එයිට ඔබ්බෙන් වූ සංසාරය පිළිබඳ කතිකාවතක්‌ එම තෙරණියන්ගෙන් සමාජයට ලබා දීමේ අරමුණ පෙරදැරිව මේ ලිපිපෙළ සැකසේ.
අතුරුගිරියේ ධම්ම සුජාතා තෙරණියෝ සිය මහණ බව සඳහා ගුරු කරගනු ලැබුවේ, රණාල බටේපොල අමාදම් අරණ වාසී සහ එහි ප්‍රධානත්වය දරණ වැල්ලම්පිටියේ විනයවංශ හිමියෝය. උන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසා ධම්ම සුජාතා තෙරණියන්ගෙන් දහම් උපදෙසක්‌ ලබා ගැනීමේ අදිටනින් අපි අමා දම් අරණ වෙත ගියෙමු.
උදුවප් පෝයට තිබුණේ තව දින කිහිපයකි. සඟමිත් තෙරණියන් මේ දිවයිනට වැඩම කරන ලද්දේ එවන් පොහෝ දිනකය. මේ දිවයිනේ මෙහෙණි සස්‌න පිහිටුවන්නේ එවන් පොහෝ දිනකය. අමාදම් අරණට අප යන විට තරුණ වියේ පසුවූ මෙහෙණින් වහන්සේලා සිව් නමක්‌ එහි වැඩ සිටියහ. උන්වහන්සේලාගේ මේ ගමන, අපගේ ජීවන ගමනට ආදර්ශයක්‌ කර ගන්නේ කෙසේද යන වැදගත් දහම් පණිවිඩය සඳහා අප විසින් පනවා ගත් කොන්දේසි කිහිපයක්‌ විය. උන් වහන්සේලා වැඩ වාසය කරන ස්‌ථානය නොඇසීම, උන් වහන්සේලාගේ ඡායාරූප නොගැනීම, උන් වහන්සේලා වදාරන පමණකින් ඔබ්බට පුද්ගලික ජීවිතය පිළිබඳව නොඇසීම සහ ලෞකික ලෝකයෙන් මිදී ලෝකෝත්තර සුවය සොයා ගිය උන් වහන්සේලා වෙත අලුත් කරදරයක්‌ නොවීම යන කාරණා එහි විය.
“මහා ප්‍රජාපති ගෝතමියගෙන් ආරම්භ වූ භික්‌ෂුණී ශාසනය කාලයක්‌ යන විට අතුරුදන් වුණා. අතීතයේ සිටි එම භික්‌ෂුණීන් වහන්සේලා අපිට දකින්න පුළුවන් වත්මන් විදිහ තමයි, මේ බුද්ධ ශ්‍රාවිකාවන්. දසසිල් මෑණියන් විදිහට උන්වහන්සේලාට සලකන බොහෝ දෙනා හිතන්නේ, මේ පිරිස ගිහි සමාජයේම කොටසක්‌ කියලයි. මේ පිරිස ගිහියෝ නෙමෙයි. නෛෂ්කම්‍ය ව්‍රතයක්‌ ගෙවන මේ පිරිස අයත් වන්නේ පැවිදි ගණයට. මේ බුද්ධ ශ්‍රාවිකාවන් සමාදන් වෙලා තියෙන්නේ ගිහි දස ශීලය නෙවෙයි. අනගාරික ව්‍රතයක්‌ ගෙවන මේ පිරිසට සමාජයේ නිසි පිළිගැනීමක්‌ ලැබෙන්නේ නැහැ. ඒ පිළිගැනීම ලබාදීම අත්‍යවශ්‍යයි. කාන්තාව කියන්නේ පුදුම කැපවීමක්‌ තියෙන කෙනෙක්‌. ඒ කැපවීම පැවිදි ව්‍රතයෙනුත් මේ බුද්ධ ශ්‍රාවිකාවන් පෙන්වනවා. මේ හැම කෙනෙක්‌ම ලොකු කැපවීමක්‌ කරලා ආපු අය. සාමාන්‍ය ජීවිතය පැත්තෙන් බැලුවොත් මේ අය හොඳට ඉගෙන ගත්ත, හොඳ රැකියාවල නිරත වුණු උදවිය. මේ අල්ලගන්න ලෝකය තුළ, අත්හැරීම කියන්නේ මහා පුදුම හැකියාවක්‌. සැරියුත් හාමුදුරුවෝ වදාළේ ගිහි ජීවිතය මොනරෙක්‌ වගේ කියලා. ඒ කියන්නේ, සෝබනයට ඉන්න පුළුවන්. බැලුවහම ලස්‌සනයි. එත් මොනරට පියාඹන්න පුළුවන් කමක්‌ නැහැ. හිමින් තමයි යන්න පුළුවන්. ගිහි ජීවිතේ ඉඳගෙන, නිවන් මාර්ගයේ යන්න පුළුවන්. ඒ ගැන ගැටලුවක්‌ නැහැ. ධර්ම මාර්ගයේ යන්න ගිහියටත් පුළුවන්. නමුත් ගමන හිමින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, පැවිද්ද හරියට හංසයෙක්‌ වගේ කියලා. හංසයා චාම්, ඒ වගේම වේගයෙන් යන්න පුළුවන්. මේ බුද්ධ ශ්‍රාවිකාවන් ඒ හංස මඟට තමයි, පිවිසුණේ. අපි හැමෝම ඒ කැපවීමට ගරු කරන්න ඕනේ.” අනුශාසනාවකින් පැහැදිලි කරමින් අපේ කතාව සඳහා මඟ පාදා දුන්නේ, වැල්ලම්පිටියේ විනයවංශ ස්‌වාමීන් වහන්සේය.
උන්වහන්සේගේ අනුශාසනාවත් සමඟ අපි බුද්ධ ශ්‍රාවිකාවන් සතර නම වෙත එළඹුණේa, උන්වහන්සේලාගේ කතාවෙන් අපේ ජීවිතයට ලබා ගත හැකි ධර්ම අවබෝධය සඳහාය. අප මුලින්ම කතිකාවත සඳහා සම්බන්ධ කර ගත්තේ මාලබේ ධම්ම විමුක්‌තා සිල් මාතාව ය.
“අපි සියලු දෙනා මහණ දම් පිරිම සඳහා ෙච්තනාවක්‌ පිහිටුවාගෙනයි හිටියේ. මේ සමාජය හිතන විදිහට පාසල, උගත්කම, රැකීරක්‌ෂා, යහළු මිත්‍රාදීන්, නෑදෑයන් ආදියෙන් බලනවිට ඒ දේවල් වලින් සෑහෙන පමණ සපුරාගෙන සිටිය උදවිය. නමුත් සැනසීම කියන එක අපි සොයාගෙන යද්දී, ඒ කිසි තැනක ඒ දේ තිබුණේ නැහැ. යම් කිසි සැනසීමක්‌ මේ කිසි දෙයක නැහැ. අපි කොච්චර දේවල් හෙව්වත් ඒ කිසි තැනක මේ සොයන දේ ලැබුණේ නැහැ. ඉස්‌සෙල්ලාම නොදැනුවත්වම මේ සැනසීම සොයන්න පටන් ගත්තා. ඊළඟට දැනුවත්ව මේ සැනසුම සෙව්වා.
ඔබ වහන්සේලා ගිහියන් ලෙස යම් තෘප්තිමත් ආකාරයකට ජීවිතය ගතකළ උදවිය. එහෙම තියෙද්දී අලුත් සැනසුමක්‌ සොයන්න වෙහෙසුණේ ඇයි?
රැස්‌කිරීම සඳහා තව තවත් යැමෙන් අපේ අධ්‍යාත්මය පිරෙන බවක්‌ දැනුණේ නැහැ. භෞතික සම්පත් කොච්චර තිබ්බත් ඒවායෙන් සතුටු වෙන්න බැරි බව අපට තේරුණා. මිල මුදල්, යානවාහන, රැකීරක්‌ෂා, ඇඳුම් පැළඳුම් උපරිම අන්දමින් තිබ්බත් මේ හැමදේම ටික කාලයකට විතරක්‌ අපේ කැමැත්ත ඉෂ්ට කරනවා. ඒ ටික කාලයෙන් පස්‌සේ ආයෙත් අපි ඒ තැනටම වැටෙනවා. මේක දිගින් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි කියන එක තේරුණා. ධර්ම අවබෝධයත් එක්‌ක මේ ගැන තව තේරෙන්න පටන් ගත්තා. අපි මේ පොඩි තත්ත්ව තානාන්තර පස්‌සේ දුවමින් ලැබුණු සැනසීම මොකක්‌ද? මේකේ තවත් දුවන එකෙන් වෙන්නේ හති වැටෙන එක විතරයි. අද ලස්‌සනට ඉන්න පුළුවන් ලස්‌සන සාරියක්‌ අදින්න පුළුවන්. මේ සාරියක්‌ දාගත්තා කියලා, එතැනින් සැනසෙන්න පුළුවන්ද? ඒක ලස්‌සන එක කාලයකට විතරයි. ඒක ගෙවිලා ගියාම තව අලුත් එකක්‌ ගන්න ඕනේ.
මේකේ ඉවරයක්‌ තියෙනවද? මේ චක්‍රය මොන විදියෙන්වත් නැවතුණේ නැහැ. මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වුණ සැනසීම ලැබුනාද? තව තවත් මදි වුනා මිස.
ඔබ වහන්සේ කුඩා කාලයේ සිටම සංසාර පුරුද්දක්‌ වගේ මේ පැවිදි බව පිළිබඳව වුවමනාවක්‌, කැමැත්තක්‌ තිබුණද?
මම උපතින් කතෝලික ආගමේ. නමුත් මේ චින්තනය නිතර නිතර තිබ්බා. පන්සලකට ගියාම අමුතු සැනසීමක්‌ මට තිබ්බා. ඒත් ඒක මොකක්‌ද කියලා මට හිතාගන්න බැරි වුණා. මට භාවනා කරන්න ආස හිතුණා. සංසාර පුරුද්ද නිසා පන්සල් වලට යන්න ආස හිතුණා. මම සේවය කරද්දී කාර්යාලයට යන්න ඉස්‌සෙල්ලා බෞද්ධාලෝක මාවතේ තියෙන විපස්‌සනා භාවනා මධ්‍ය ස්‌ථානයට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. කිසිම ගාථාවක්‌ දන්නේ නැතුව, ඒ දැනෙන සුවය වෙනුවෙන් ඉඳගෙන හිටියා. ඒ පිළිවෙතේ තමයි මේ ගමන ආවේ.
මේ කැමැත්ත, මහනකම දක්‌වා ගෙන ඒම සුළු පටු කාර්යයක්‌ නෙමෙයි. පවුල. දෙමවුපියන්, ආදියේ සිට අත්හැරීම කියන දේ තමන්ගේ කාර්යයක්‌ පමණක්‌ නෙමෙයි. ඒ සියල්ල මැද මේ දක්‌වා ආවේ කොහොමද?
ඒක වෙන්නේ ධර්ම අවබෝධයෙන්ම පමණයි. ධර්මය පිළිබඳව හොයන්න පටන්ගන්න කොට, අපි දුවන මේ තරගය ගැන තේරුණා. එයින් අපිට ලොකු වෙහෙසක්‌ තමයි ඉතුරුවෙලා තියෙන්නේ කියලා තේරුණා. මේ ගැන ඇතුළතින්ම දැනෙන්න පටන් ගන්නවා. මේ ගැන හිතන කොට “අපි මේ යන්නේ කොහෙද… ?” කියන ප්‍රශ්නය මතුවෙනවා. දහම් අවබෝධය සමග ඒ ප්‍රශ්නයට උත්තර හොයන කොට, “මේ අල්ලගෙන සිටින්නේ මොකක්‌ද… ? මගේ සැනසීම මේකෙන් ලැබෙන්නේ නැහැ නේද…? කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ සන්ධිස්‌ථානයට ආවාම, මේ විදිහට මේ ගමන යනවාද, නැත්නම් මේ මඩ ගොඩෙන් එළියට එනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. එතකොට තීන්දුවක්‌ ගන්න වෙනවා. එතැනදී කිසිම දෙයක්‌ බාධකයක්‌ නෙමෙයි. උතුම් අරමුණක්‌ සඳහා ගමන් කිරීමක්‌ විතරයි පෙනෙන්නේ… මේ තීරණය අරගෙන දවස්‌ හතරයි මට මේ ගමන සඳහා ගියේ. එය එතරම් පහසු වුණේ මේ අවබෝධයමයි. මෙතැනදී බාධක කියලා සඳහන් වෙන දේවල් අපිම හදාගත්ත ඒවා. අපිම වටිනාකම් දීපුවා. මේ රූපයට, සැමියාට, බිරිඳට දූ දරුවන්ට රැකියාවට මේ වටිනාකම් අපි දීලා තියෙනවා. දැන් මම මහණ දම් සඳහා පිවිසිලා මාස හතරක්‌ වෙනවා. එයින් දැනෙන සුවය කියන්න බැරි තරම්.
මාලබේ ධම්ම විමුක්‌තා මෑණියන්ගේ මේ දහම් මාර්ගය පිළිබද අනුශාසනාව සමඟ අපි යොමු වූයේ පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්වූ, අතුරුගිරියේ ධම්ම සුජාතා තෙරණිය වෙතය. භද්‍ර යෞවනය විනෝද උයනක්‌ කර ගැනීමේ පිපාසයෙන් ලෞකික ඉලක්‌ක හඹා යන තරුණියන් අතරේ ඇය පිය නැඟුවේ වෙනත් මඟකය. මංගල සාරියෙන් සැරසී, අලංකාර කේශ කල්‍යාණයෙන් බරවී මනාමාලියක්‌ වීමේ මල්බර සිහිනය දෙසට සම වයසේ සෙසු යෞවනියන් ගමන් කරන සඳ ඇය සිය කේශ කලාපය තොර කර ගනිමින් මුඩු හිසක්‌ ඇති කරගත්තාය. සුදු සේලයෙන් සැරසී පෝරු මස්‌තකයට පැමිණෙනවා වෙනුවට කසාවතින් සැරසී මහණ දම් පිරිම සඳහා ඕ නික්‌ම ගියාය. අප ඉදිරියේ උස්‌ ආසන ගතව, සසර කතරෙන් නිවෙන මග සොයා යන ඇය සිටින්නීය.
අන්තර්ජාලයේ සහ මාධ්‍යයේ ඔබවහන්සේ ගැන තොරතුරු පළවෙලා තිබුණා. ඒ විස්‌තර ඔබ වහන්සේ දැක්‌කාද… ?
ඒ ගැන මට ගෙදරින් කිව්වා. මම ඒක දැක්‌කේ නැහැ. මම ඒකෙන් කැලැබීමක්‌ වුණේ නැහැ. එයින් සමාජයට හොදක්‌ වුණා නම් මට පිනක්‌ අයිති වෙයි කියලා හිතුණා.
ඔබ වහන්සේගේ ගිහි කාලයේ සුන්දර රූපය ගැන තමයි බොහෝ දෙනා මවිතය පළකර තිබුණේ… මෙච්චර ලස්‌සන ගැහැනු ළමයෙක්‌ ඇයි මහණ වුණේ කියලා සමාජයේ කතාබහක්‌ ඇතිවුණා…
ලස්‌සන සහ කැත කියන දේ තීරණය වෙන්නේ බලන කෙනා අනුවනේ… ලස්‌සන කියන එක පිටිපස්‌සේ තියෙන දේ සහ ලස්‌සන කෙනෙක්‌ මහණ වුණා කියන කොට ඒගැන හිතන්න ඕනේ ධර්මානුකුලව. ලස්‌සන ගැන අවධානය යොමු කරනවාට වඩා මහණකම පිළිබඳව සමාජයේ අවධානය යොමු වෙනවානම් තමයි වැදගත් වන්නේ.
යුවතියක්‌ සිය ශරීරාංග අතුරෙන් වැඩිම සැලකිල්ල යොමු කරන්නේ වරලසටය. පාර දිගේ ඇති රූපලාවන්‍යාගාර දෙස බලද්දී සහ කෙස්‌ කළඹට එහිදී ලබා දෙන අලංකරණ ප්‍රමාණය දෙස බලද්දී කෙස්‌ කළඹ මුළුමනින්ම කපා දමනවා කියන එක ලෙහෙසි කාර්යයක්‌ නෙමෙයි. මේ අත්හැරීම සංසාර පුරුද්දකට පමණක්‌ ලඝූ කරන්න පුළුවන්ද… ?
මට ඒක ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. මේ සියල්ල තීරණය වන්නේ ඒ දේට ලබා දෙන වටිනාකම් අනුවයි. සමහර අය ඇඳුම්වලට, රූපයට, කොණ්‌ඩයට වටිනාකම් දෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් අනුව තමයි, සමාජය හා වැඩිම එකිනෙකා ඒ දේවල් ගැන තීරණය කරන්නේ. ගැහැනු ළමයි කොණ්‌ඩයට තමයි වටිනාකම දෙන්නේ. නමුත් ඒ වටිනාකම් අභිබවා යන සුවයක්‌ සතුටක්‌ ගැන හිතන කොට කොණ්‌ඩය කියන දේ තියෙන වටිනාකම මොකක්‌ද…? හිස්‌ කබලේ ආරක්‌ෂාවට තියෙන දෙයක්‌ කියලයි හිතෙන්නේ.

මනෝඡ් අබයදීර

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!