Hot News

බුදු දහම පාවාදී සුද්දන්ට “ගොට්ට” ඇල්ලීම බුරුමයේත්… විරාතු හිමියන්ට බණ තහනම් කරයි…

බුදු දහම පාවාදී සුද්දන්ට “ගොට්ට” ඇල්ලීම බුරුමයේත්… විරාතු හිමියන්ට බණ තහනම් කරයි…

අශ්වින් විරාතු හිමියන් බුරුම බෞද්ධයන් අතර පමණක්‌ නොව මෙරට බෞද්ධ ජනතාව අතරද ප්‍රකට චරිතයකි. ඒ උන්වහන්සේගේ 969 ව්‍යාපාරයත්, 2014 සැප්තැම්බර් මාසයේදී සිදු කළ ශ්‍රී ලංකා සංචාරයත් නිසාය. 2014 සැප්තැම්බර් මාසයේ උන්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයට සූදානම් වන විටදීම මෙරට සිටින වහාබ්වාදී බලවේග මේ ගමන වැළැක්‌වීමට නොයෙකුත් පියවර යෙදූහ. නමුත් එවක පැවැති රාජපක්‍ෂ ආණ්‌ඩුව මේ ථෙරවාදී බෞද්ධ භික්‍ෂුවගේ ලංකා ගමනට වාරණ පැනවූයේ නැත. වර්තමාන යහපාලන රජය යටතේ නම් විරාතු හිමියන්ට ලංකා සංචාරයකට ඉඩ ලැබේද යන්න නම් සැක සහිතය.
කවරක්‌ නමුත් මේ 48 හැවිරිදි භික්‍ෂුව සම්බන්ධව බෞද්ධ ජනතාව තුළ ගෞරවයක්‌ පැවතියද, ජාත්‍යන්තර මාධ්‍ය නම් උන්වහන්සේ පිළිබඳව මවනු ලැබුවේ වැරදි චිත්‍රයකි. හැනා රිව් මාධ්‍යවේදිනිය 2013 ජුලි 01 වැනිදා ටයිම් සඟරාවේ ප්‍රධාන ලිපිය සටහන් කරමින් ප්‍රකාශ කළේ කුමක්‌ද?. කිසිදු අපරාධ චෝදනාවක්‌ නැති විරාතු හිමියන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ මුහුණුවර ලෙස හැඳින්වීය. අබුබකර් බැග්ඩැඩි මුස්‌ලිම් මූලධර්මවාදයේ මුහුණුවර යෑයි මෙතෙක්‌ ප්‍රකාශ නොකළ ටයිම් සඟරාව ථෙරවාදී බෞද්ධ භික්‍ෂුවට පහරදීමට නොපැකිළ විය. බුරුම 969 සංවිධානය කිසිම විටක සිය විරුද්ධවාදීන්ගේ ගෙල කපා මරා දමා නැත. කෙසේ නමුත් උන්වහන්සේ මුස්‌ලිම් අන්තවාදය ව්‍යාප්තවාදය ගැන කතා කිරීම බොහෝ දෙනාට ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනේ.
මේ තත්ත්වය වර්තමානයේ බුරුම ආණ්‌ඩුවට ද ප්‍රශ්නයක්‌ වී ඇත. අවුන් සාන් සුකී බුරුම ආණ්‌ඩුවේ විදේශ ඇමැති වුවද එරට රජය මෙහෙයවන්නේ ඇයයි. විරාතු හිමියන්, අවුන් සාන් සුකීගේ දේශපාලන මතවාදය විවේචනය කිරීමට නොපැකිලි විය. එනිසාම විරාතු හිමියන්ට බණ දේශනා කිරීම පුරා වසරක්‌ තහනම් කර ඇත. බටහිර ලෝකය සතුටු කිරීම සඳහා අවුන්සාන් සුකීගේ බුරුම ආණ්‌ඩුව මේ බෞද්ධ භික්‍ෂුවට ධර්ම දේශනා කිරීමේ අයිතිය වාරණය කිරීම පිළිගත හැකිද? නොබෙල් සාම ත්‍යාගලාභී මානව හිමිකම් ක්‍රියාකාරිනිය බුරුමයේ ථෙරවාදීන්ට වාරණ පැනවීම සාධාරණද?
අවුන් සාන් සුකී ගේ ප්‍රබල ආධාරකරුවකු වූ කෝ නී නම් මුස්‌ලිම් නීතිඥයා පසුගිය පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්‌ විය. විරාතු හිමියන් සිය ධර්ම දේශනාවලදී මෙම ඝාතනය සාධාරණීකරණය කරමින් ප්‍රකාශ නිකුත් කිරීම සුකීගේ ආණ්‌ඩුව බලවත් අපහසුතාවයට පත් කරන්නට විය. ඒ අනුව බුරුමයේ උත්තරීතර භික්‍ෂු සභාව වන සංඝනායක කමිටුව විසින් 2017 මාර්තු 10 වැනිදා සිට 2018 මාර්තු 09 වැනිදා දක්‌වා පුරා වසරක කාලයක්‌ උන්වහන්සේට ධර්ම දේශනා පැවැත්වීම තහනම් කර ඇත. මෙම සංඝනායක කමිටුව නිවේදනය කර ඇත්තේ විරාතු හිsමියන්ට රටේ නීතිය කැඩීමට ඉඩ දිය නොහැකි බවත්, උන්වහන්සේද රටේ නීතියට යටත් වන බවයි. විරාතු හිමියන්ට පැනවූ මේ තහනම අල්ජසීරා රූපවාහිනියට නම් ප්‍රමුඛ පුවතක්‌ විය. මේ පුවත එම රූපවාහිනි නාලිකාව මගින් විකාශය කරනු ලැබුවේ වඩාත් උත්කර්ෂයෙනි.
969 ව්‍යාපාරය එනම් මා බා තා සංවිධානය විරාතු හිමියන්ට පැනවූ තහනම කෙරෙහි බලවත් සේ විරෝධයෙන් පසුවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මෙම සංවිධානයේ සාමාජික තු සයිත්තා හිමියන් පවසන්නේ මෙය සත්‍යය හෙළි කිරීමට එරෙහිව සිදුකළ වාරණයක්‌ වන බවයි. හාමුදුරු කෙනෙක්‌ බණ කියන එක ආණ්‌ඩුවට නවත්වන්න බැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ මහජනයාගේ හිත සුව පිණිස බණ දේශනා කරන ලෙසයි.” යෑයි සයිත්තා හිමියෝ පවසති.
බුරුම ආණ්‌ඩුව විරාතු හිමියන්ට එරෙහිව පැනවූ තහනම දේශපාලන වශයෙන් ජනප්‍රිය තීරණයක්‌ නම් නොවේ. බුරුම ජනගහනයෙන් සෑම පුද්ගලයන් දසදෙනෙක්‌ගෙන් නවදෙනෙක්‌ම ථෙරවාදී බෞද්ධයින් ය. එහි වෙසෙනා මුස්‌ලිම් ජනගහනය 5% ක්‌ පමණි. නමුත් අවුන්සාන් සුකී විරාතු හිමියන්ගේ ධර්ම දේශනාවලට වාරණ පනවා උත්සාහ කරනුයේ මුස්‌ලිම් ජාතිකයන් දිනා ගැනීමටද? නැත්නම් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ගැලවීමට ද? කෙසේ නමුත් යහ පාලන ආණ්‌ඩුව ද බුරුමයෙන් ආදර්ශ ගැනීමට උත්සාහ කරයිද? යන සැකය අපට මතුවන්නේ බෞද්ධ ජාතික බලවේගයන් මේ ආණ්‌ඩුවේ ක්‍රියාකලාප සම්බන්ධව කනස්‌සල්ලෙන් පසුවන නිසා ය. බුරුම හමුදා ආණ්‌ඩුව බලය පැවැති සමයේදී එරට ශාසනය සුරක්‍ෂිත විය. හමුදා ආණ්‌ඩුවට එරෙහි බටහිර ලෝකයත්, ඇමරිකාවත්, සම්බාධක පනවා තිබුණ ද, එරට කඩා වැටුණේ නැත. බුදු දහම පෝෂණය විය. සුරක්‍ෂිත විය. විදේශික ඉවැන්ජලිකල් බලවේගවලට බුරුමයේ ආගම් ප්‍රචාරයට ඉඩ ලැබුණේ නැත. බුරුම හමුදා ආණ්‌ඩුව බෞද්ධ පුනරුද ව්‍යාපාරය කෙරෙහි විරෝධයක්‌ නොදැක්‌වුවද අවුන්සාන් සුකීගේ ආණ්‌ඩුව නම් එවැනි ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය නොකරන බව පෙනේ. නමුත් බුරුම බෞද්ධයන් තලා පෙළීමට සුකීට බලයක්‌ ලැබී ඇත්ද?
ඇත්තෙන්ම විරාතු හිමියන් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? ථෙරවාදී බෞද්ධ ලෝකය ඉදිරියේ ඇති තර්ජන පිළිබඳවයි. උන්වහන්සේ සිය ධර්ම දේශනවලදී බුරුම වැසියන්ට මුස්‌ලිම් ආක්‍රමණය, ව්‍යාප්තිවාදය ගැන කරුණු පහදා දෙයි. එහෙත් අයිසිස්‌ සංවිධානය මෙන් අනෙක්‌ ආගමිකයාගේ බෙල්ල කපා දමන ලෙස උන්වහන්සේ දේශනා කර නැත. එහෙත් බටහිර ලෝකය විරාතු හිමියන් දුටුවේ බුරුමයේ බින්ලාඩන් ලෙසය. නමුත් විරාතු හිමියන්ගේ දැතේ ලේ තැවරී නැත. 969 ව්‍යාපාරය හා මෙරට බොදුබල සේනා සංවිධානය අත්වැල් බැඳ ගැනීම බෞද්ධ විරෝධීන්ට බරපතළ ප්‍රශ්නයක්‌ විය. නමුත් පසුගිය සතියේ කාත්තන්කුඩියේදී සිදුවූයේ කුමක්‌ද? අයිසිස්‌ සංවිධානයට සහාය පළ කරන තව්හීඩ්වරුන් හා මධ්‍යස්‌ථ මුස්‌ලිම්වරු අතර ගැටුමක්‌ නොවේද? මේ ගැන කලක පටන් බොදු බල සේනාව අනතුරු අඟවා තිබිණි. නමුත් පාලකයන්ට මේ කථා ආගම්වාදය පැතිරීමක්‌ පමණක්‌ විය. එහෙත් බුරුමයට මෙන්ම ලංකාවට ද ඇත්තේ පොදු තර්ජනයක්‌ බව නම් අවධාරණය කළ යුතුය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!