නුරි වත්තේ අධිකාරිවරයා කපා කොටා මරා දැමු අතකොටා ඇතුළු 18 ලැබුණු මරණ දඬුවම

නුරි වත්තේ අධිකාරිවරයා කපා කොටා මරා දැමු අතකොටා ඇතුළු 18 ලැබුණු මරණ දඬුවම

දැරණියගල නූරි වතුයාය ප්‍රදේශයේ පුංචි කිලිනොච්චිය ලෙස හැඳින්වූ කාලයක්‌ තිබුණේය. මේ පුංචි කිලිනොච්චියේ ප්‍රභාකරන්ගේ චරිතයට පණ පෙව්වේ අත සොත්තිවූ මැරයෙකි. මේ මැරයාව හැඳින්වූවේ අතකොටා ලෙසය.
අතකොටා එසේ මෙසේ පුද්ගලයකු නොවන බව ඔහුගේ ක්‍රියාකලාපයෙන් පෙණින. අතකොටාට හරියන මැරයන් පිරිසක්‌ ඔහු වටා එක්‌ව සිටියහ.
මේ මැරයන් දුක්‌මහන්සියෙන් කිසිවක්‌ හරිහම්බ කළේ නැත. උන් කළේ බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස අනුන් සතු දේ කොල්ලකෑමය. එහෙමත් නැත්නම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමය.
අතකොටා දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ඒ දේශපාලන හයිය ද මේ මැරයාට නොඅඩුව තිබුණේය. කෑගල්ල ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලනඥයකු වෙනුවෙන් අතකොටා අත දිග හැර වියදම් කළේය. නොයෙකුත් තෑගි බෝග ලබාදුන්නේය. මේ දේශපාලනඥයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අසීමිතව වැඩ කළ අතකොටා ඇතුළු මැරයන් ඔහුගේ අවධානය දිනා ගත්තේය.
ඒ හරහා විශාල බලයක්‌ ගොඩනඟාගත් අතකොටා දැරණියගල පොලිසිය ද බියට පත් කළේය.
නොයෙකුත් වරදාන වරප්‍රසාද ලබා දී පොලිසියේ ලොක්‌කන් ද තම ඔඩොක්‌කුවට දමාගත් මේ මැරයා මුළු දැරණියගලම භීතියට පත් කරගෙන රිසිසේ ජීවත් වන්නට පටන් ගත්තේය.
නූරි වතුයාය දැරණියගල සුන්දරත්වය තවතවත් ඔප් නැංවීමට සමත් වූ වතුයායක්‌ විය. මේ වතුයායේ ආර්ථික අතින් වටිනා සම්පත් බොහෝය. අතකොටා ඇතුළු මැර හමුදාවේ ප්‍රධාන ආදායම් මාර්ග ලැබුණේ මේ නූරි වත්ත හරහාය.
දීර්ඝ කාලයක සිට අතකොටා ඇතුළු මැරයන් යෑපුණේ මේ වතුයායේ තිබූ සම්පත් භුක්‌ති විඳිමින්ය. නූරි වත්තේ වතු අධිකාරීවරුන් ලෙස පැමිණි නිලධාරීන් සියලු දෙනා භීතියට පත්කරගත් අතකොටා ඇතුළු මැරයන් තමන්ට රිසිසේ නූරි වත්ත පාලනය කරමින්a එහි සාරය උරා බීවෝය.
නූරි වත්තේ පරිපාලනය සඳහා අලුතින් පත්කළ නිහාල් පෙරේරා මහතා එහි පාලන කටයුතු වෙනස්‌ කිරීමට උත්සාහ ගත්තේය. කොටින්ම නිහාල් පෙරේරා නූරි වත්තේ පාලන කටයුතු අනික්‌ පැත්ත පෙරළීමට උත්සාහ කළේය.
නිහාල් පෙරේරා නූරි වත්තට පිළිලයක්‌ වූ අතකොටා සහ ඔහුගේ මැර හමුදාව සමඟ තනිවම සටන් වැදුණේය.
එහෙත් අවසානයේ සිදුවුණේ නිහාල් පෙරේරාට නූරි වත්ත වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමටය.
නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධයෙන් අතකොටා ඇතුළු මැරයන් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අවිස්‌සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. වසර තුනහමාරක්‌ මෙම නඩුව අධිකරණයේ විභාග කෙරුණේය.
දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරිවරයා ලෙස රාජකාරි කරමින් සිටි නිහාල් පෙරේරා මහතාට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඓතිහාසික නඩු තීන්දුව සිකුරාදා (25 වැනිදා) ලබාදුන් අවිස්‌සාවේල්ල මහාධිකරණයේ හිටපු මහෙස්‌ත්‍රාත් දේවිකා අබේරත්න මහත්මිය මෙම ඝාතනයට සම්බන්ධ 18 දෙනකුට මරණීය දණ්‌ඩනය නියම කළාය.
එක්‌ පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පුද්ගලයන් 18 දෙනකුට මරණ දඬුවම ලබාදුන් මුල්ම අවස්‌ථාව ලෙස මෙම නූරි වතු යායේ නඩු තීන්දුව ඉතිහාසගත වූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.
වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයන් තිදෙනකු සියලු චෝදනාවලින් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට ද අවිස්‌සාවේල්ල මහාධිකරණයේ හිටපු මහෙස්‌ත්‍රාත් දේවිකා අබේරත්න මහත්මිය නියෝග කළාය.
ඉකුත් 2013 වර්ෂයේ ජුලි මස 05 වැනිදා දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරිවරයා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ අය මෙසේය.
මෙම නඩුවේ පළමු විත්තිකරු වූයේ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අනිල් චම්පික විඡේසිංහ නොහොත් අතකොටාය. ඔහුට අමතරව අමිල විඡේසිංහ, ඩී. කේ. වීරබාහු, ඩී. විඡේකුමාර්, ආර්. ශෂිකුමාර්, ජී. රවිකුමාර්, පී. උදය කුමාර්, ආර්. රවි කුමාර්, කේ. ඒ. ආර්. ශිවකුමාර්, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, කේ. රාඡේන්ද්‍රන්, අශාන් රංග විඡේසිංහ, එස්‌. පලනියන්ඩි, ඒ. අර්ජුන, ඉන්දික විඡේසිරි, අරුණාචලම් මුනියන්ඩි, ලකිත විඡේසිංහ, බී. ජී. දිනේෂ් චතුරංග යන අයට ද මෙහිදී මරණ දඬුවම නියම කෙරිණි.
මහෙස්‌ත්‍රාත්වරිය විසින් මෙහිදී නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබුවේ සරත් විඡේසිරි, එස්‌. මහේන්ද්‍රන් සහ තරිඳු ධනංජය විඡේසිරි යන අයයි.
මෙම නඩු විභාගය වසර 3 1/2 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ විභාගයට ගැනුණු අතර එම කාලසීමාව තුළදී සැකකරුවන් 21 දෙනාට ඇප ලබා නොදී ඔවුන් බන්ධනාගාරගත කර තැබීම ද විශේෂ සිදුවීමකි.
අවස්‌ථා කීපයකදීම මෙම විත්තිකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළ ද මහෙස්‌ත්‍රාත්වරිය එය තදින් ප්‍රතික්‍ෂේප කර තිබිණි.
මෙම නඩුව විභාග වෙමින් තිබියදී අවිස්‌සාවේල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දේවිකා අබේරත්න මහත්මියට ඇඹිලිපිටිය අධිකරණය වෙත මාරුවීමක්‌ ලැබී තිබිණි. එහෙත් මහෙස්‌ත්‍රාත්වරිය මෙම නඩුව සඳහා ඇඹිලිපිටිය අධිකරණයේ සිට අවිස්‌සාවේල්ල අධිකරණය වෙත පැමිණ නඩු විභාගය සඳහා ඉදිරිපත් වූවාය.
මෙම ඓතිහාසික නඩු තීන්දුව ලබාදෙන අයුරු දැකබලා ගැනීම සඳහා අතිවිශාල පිරිසක්‌ අවිස්‌සාවේල්ල අධිකරණය වෙත ඊයේ දහවල් පැමිණ සිටියහ. ඝාතනයට ලක්‌ වූ නිහාල් පෙරේරා මහතාගේ බිරිඳ, දියණිය සහ බෑනා ද මෙම නඩු තීන්දුව ලබාදෙන අවස්‌ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්ගේ ඥතීහු ද අවිස්‌සාවේල්ල අධිකරණය වෙත ඊයේ පැමිණ සිටියහ. අවිස්‌සාවේල්ල අධිකරණ භූමිය සහ ඒ අවට ප්‍රදේශයේ කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇතිවුවොත් ඊට මුහුණදීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය දැඩි ආරක්‍ෂාවක්‌ යොදවා තිබිණි.
පොලිස්‌ නිල සුනඛයන් ද ආරක්‍ෂාව සඳහා යොදවා සිටි අතර අධිකරණය වෙත පැමිණි සියලු පුද්ගලයන් දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමට ද පොලිසිය කටයුතු කළහ.
මෙහිදී ඝාතනයට ලක්‌ වූ වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශනිල් කුලරත්න මහතා පෙනී සිටි අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. පොල්වත්ත මහතා ද පෙනී සිටියේය.
මේ අතර විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අනුජ ප්‍රේමරත්න, සමන් වික්‍රමසිංහ, ඒ. එස්‌. එම්. විස්‌මා, අසංක සේනාරත්න, ඉන්දික විඡේසූරිය සහ අයේෂා රාජපක්‍ෂ යන මහත්ම මහත්මීහු ද පෙනී සිටියහ.
දැරණියගල නූරි වතුයායේ දූෂණ වංචා සහ නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිවීම නිසා කෝපයට පත් වූ අතකොටා ඇතුළු ඔහුගේ පාතාල කල්ලියේ සාමාජිකයන් විසින් වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා ඝාතනය කරනු ලැබුවේ 2013 වර්ෂයේ ජූලි මස 05 වැනිදාය.
සබරගමුව පළාතේ එක්‌තරා ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණය ලබමින් සිටි අනිල් චම්පික විඡේසිංහ හෙවත් අතකොටා නූරි වතුයායේ පාලන බලය සියතට ගෙන සිටියේය.
නූරි වතුයායේ රුපියල් ලක්‍ෂ ගණන් වටිනා ගස්‌ බලෙන් කපා විකිණීම, ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු බොහෝ කටයුතු අතකොටාගේ අභිමතය පරිදි සිදුකෙරිණි.
අතකොටා ඇතුළු පාතාල කල්ලියේ සාමාජිකයන්ට ඇති බිය නිසා ඔවුන්ගේ හිංසනයට ලක්‌ වූ කිසිවෙක්‌ පොලිසිය හමුවේ පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවූහ. දැරණියගල පොලිසියේ ඉහළ නිලධාරීන් ද අතකොටා ඇතුළු කල්ලිය සමඟ සමීප සබඳතා පැවැත්වූ අතර ඔවුන් පැමිණිලි කිසිවක්‌ විභාග කර තිබුණේ නැත.
නූරි වතුයායේ වතු අධිකාරිවරුන් ද අතකොටා ඇතුළු ඔහුගේ කල්ලියේ සාමාජිකයන්ට බියවී සිටි අතර වතුයායේ සියලු පාලන කටයුතු ක්‍රියාත්මක කෙරුණේ අතකොටාගේ අභිමතය පරිදිය.
නූරි වතුයායේ අධිකාරිවරයා ලෙස 70 හැවිරිදි නිහාල් පෙරේරා මහතා පත්කරනු ලබන්නේ එහි ඇතිවී තිබෙන දූෂණ අක්‍රමිකතා මර්දනය කිරීම සඳහාය.
නිහාල් පෙරේරා මහතා නූරිවත්තේ අධිකාරිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු දැඩි පාලනයක්‌ ගෙනයන්නට පටන් ගත්තේය. අතකොටා ඇතුළු කල්ලිය විසින් කරගෙන ගිය සියලු දූෂණ අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියාවන් නතර කළ නිහාල් පෙරේරා මහතා නූරිවත්ත ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටියේය.
නූරිවත්තේ කටයුතු සඳහා ඇඟිලි නොගසන ලෙස අතකොටා ඇතුළු පාතාල කල්ලිය අවස්‌ථා කීපයකදීම නිහාල් පෙරේරා මහතාට තර්ජනය කර තිබිණි.
මේ සම්බන්ධයෙන් නිහාල් පෙරේරා මහතා අවස්‌ථා කීපයකදීම දැරණියගල පොලිසියට පැමිණිලි කළ ද එම පැමිණිලි විභාග කර තිබුණේ නැත.
2015 වර්ෂයේ ජූලි මස 05 වැනිදා දහවල් අතකොටා ඇතුළු පාතාල කල්ලියේ සාමාජිකයන් නූරිවත්තට කඩාවැදී එහි වතු අධිකාරිවරයා වූ නිහාල් පෙරේරා මහතාට ඉතාම අමානුෂික අන්දමින් පහර දී තිබිණි.
පණපිටින්ම ඔහුගේ මුඛය කතුරුවලින් කපා දැමූ සාහසිකයන් ඔහුගේ සිරුරේ ස්‌ථාන රැසක්‌ම තියුණු ආයුධවලින් කපා දැමූහ.
පසුව නිහාල් පෙරේරා මහතා නිරුවත් කර ඔහු කැබ් රථයක පිටුපස බැඳ දමා නූරිවත්ත වටා බිම දිගේ ඇදගෙන යැමට අතකොටා ඇතුළු මැර පිරිස කටයුතු කළහ.
තියුණු ආයුධවලින් කපා කොටා පොලු මුගුරුවලින් පහර දී නිහාල් පෙරේරා මහතා ඝාතනය කළ අතකොටා ඇතුළු මැර පිරිස ඔහුට අයත් කැබ්රථය ද රැගෙන පලා ගියහ.
මෙම සිද්ධියේදී නිහාල් පෙරේරා මහතා යටතේ සේවය කළ පුද්ගලයන් දෙදෙනකු ද මැරයන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ අතර ඔවුහු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කරනු ලැබූහ.
මෙම සිද්ධියේදී දැරණියගල පොලිසිය ඉතාම මන්දොත්සාහී අන්දමින් ක්‍රියාකළ අතර නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.
පසුව දැරණියගල පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් මාරු කර යෑවීමට කටයුතු කළ පොලිස්‌ මූලස්‌ථානය නූරි වත්තට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ආරක්‍ෂාව සඳහා යෙදවීය.
ප්‍රදේශවාසීන් විසින් නූරි වතුයාය ප්‍රදේශය පුංචි කිලිනොච්චිය ලෙස හැඳින්වූයේ අතකොටා ඇතුළු පාතාල මැර පිරිස ගෙන ගිය පාලනය නිසාය.
පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ වෙනත් පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ යොදවා නූරි වතුයාය ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කරනු ලැබීය.
නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරිණි.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න සහ එවකට අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණී මතුරට යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත නූරි වතුයායට ගිය එවකට සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසාද් රණසිංහ, ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජගත් රෝහණ, උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. පොල්වත්ත ඇතුළු නිලධාරීන් පිරිසක්‌ නූරි වතුයායට ගොස්‌ කළ විමර්ශනවලදී මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අතකොටා ඇතුළු සැකකරුවන් 21 දෙනකු අත්අඩංගුවට ගත්හ.
වසර 3 1/2 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම නඩු විභාගය අවිස්‌සාවේල්ල අධිකරණයේ විභාගයට ගැනීමෙන් පසු සිකුරාදා (25 දා) ඊට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් විය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!