Hot News

කුඩු මතින් මිදෙන්න එංගලන්තයේ සිට ලංකාවට ආ සුද්දා මියගිය (ඝාතනය) කල හැටි

කුඩු මතින් මිදෙන්න එංගලන්තයේ සිට ලංකාවට ආ සුද්දා මියගිය (ඝාතනය) කල හැටි

මාලිගාවත්ත පොලිසිය වෙත පසුගිය 02 වැනිදා උදැසන දුරකථන ඇමතුමක්‌ ලැබුණේය. ඇමතුම ලබා දී තිබුණේ මාලිගාවත්ත ජෝතිපාල මාවතේ පුද්ගලයකු විසින් ය.
මාලිගාවත්ත අරලිය උයන ක්‍රීඩාංගණය අසල මරුමුවට පත් වූ විදේශ ජාතිකයකුගේ සිරුරක්‌ වැටී තිබෙන බවට ඒ දුරකථන ඇමතුමෙන් කියෑවුණේය.
අබිරහස්‌ අන්දමින් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු හමුවීම මාලිගාවත්ත ප්‍රදේශයට එතරම් අරුමයක්‌ නොවන සිදුවීම් ය. පාතාල ලෝකයේ අපරාධකාරයන්ගෙන් ගහන ප්‍රදේශයක්‌ ලෙස ප්‍රචලිතව තිබෙන මාලිගාවත්තට මෙවැනි නාඳුනන මළසිරුරු හමුවීම සාමාන්‍ය සිදුවීමක්‌ වෙයි.
එහෙත් විදේශිකයකුගේ මළ සිරුරක්‌ අරලිය උයන ක්‍රීඩාංගණය අසල අතහැර දමා ගොස්‌ ඇති බවට ලැබුණු තොරතුරු මාලිගාවත්ත පොලිසියට අලුත් එකක්‌ විය. මේ තොරතුර ඇසීමෙන් පොලිසිය කලබලයට පත් වූහ. ඔවුන් වහාම විදේශිකයාගේ මළසිරුර වැටී ඇති ස්‌ථානය වෙත පැමිණ මූලික විමර්ශන ආරම්භ කළහ.
කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා, සහකාර පොලිස්‌ අධිකාරි උදය හේමන්ත මෙන්ම මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ඒකනායක ඇතුළු නිලධාරීන් මෙම විදේශිකයාගේ අබිරහස්‌ මරණය පිළිබඳව විමර්ශන ආරම්භ කළේය.
විදේශිකයාගේ කලිසම් සාක්‌කුවක තිබූ විදේශ ගමන් බලපත්‍රය සොයා ගත් පොලිස්‌ නිලධාරීන් ඒ ඔස්‌සේ සිය විමර්ශන කටයුතු ආරම්භ කළහ.
විදේශිකයාගේ අබිරහස්‌ මරණය පිළිබඳව සොයා ගැනීමට කිසිදු සාක්‍ෂියක්‌ ඉතිරිව තිබුණේ නැත. අබිරහස්‌ අන්දමින් මියගිය පුද්ගලයා ස්‌කොට්‌ලන්ත ජාතිකයකු බව පොලිසිය හඳුනා ගත්තේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සොයා ගැනීමෙන් පසුවය.
විදේශිකයාගේ හිසේ සහ මුහුණේ තුවාල කීපයක්‌ තිබු අතර ඔහු වෙනත් ස්‌ථානයකදී මරා දමා පසුව මාලිගාවත්තට ගෙනැවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක පහල කළහ. ස්‌කොට්‌ලන්ත ජාතිකයාගේ මරණය රාජතාන්ත්‍රික ප්‍රශ්නයක්‌ විය හැකි බව පොලිසිය තේරුම් ගෙන සිටියහ. මෙම විමර්ශනය ක්‍රමවත්ව කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් එය මුළු රටටම බලපාන ගැටලුවක්‌ වනු ඇතැයි පොලිසිය සිතූහ.
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය වෙත ගිය පොලිස්‌ කණ්‌ඩායමක්‌ අබිරහස්‌ ලෙස මරුමුවට පත් වූ ස්‌කොට්‌ලන්ත ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර ඔහු පිළිබඳ විස්‌තර ඉල්ලා සිටියහ.
ඒ අතර තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ මෙම අබිරහස්‌ මරණය සිදු වූ ප්‍රදේශයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පරීක්‍ෂා කරන්නට වූහ. අබිරහස්‌ මරණය සිදු වූ බවට සැක පහල කළ කාල සීමාවේ මෙම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකථන පණිවිඩවලට අදාළ වාර්තාවක්‌ ලබාගත් තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ එය ක්‍රමානුකූලව විමර්ශනය කළහ.
පොලිස්‌ නිලධාරීන්ගේ උත්සාහය සාර්ථක විය. සීසීටීවී දර්ශන කීපයක්‌ පරීක්‍ෂා කිරීමේදී විදේශිකයාගේ සිරුර අරලිය උයන ක්‍රීඩාංගණය අසලට ගෙනවිත් දැමූ බවට සැක පහල කළ ත්‍රිරෝද රථය හඳුනා ගැනීමට පොලිසිය සමත් වුණේය.
පැය කීපයක්‌ ගතවන්නට පෙර ඒ ත්‍රිරෝද රථයේ රියෑදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ නිලධාරීන් සමත් වූහ. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියෑදුරු මැලේ ජාතිකයෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී වාප්පු ලිපිකරුවකු පිළිබඳ කරුණු අනාවරණය විය. සැනෙකින් ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් වාප්පු ලිපිකරුවා ද අත්අඩංගුවට ගත්තේය.
ඒ වන විට අබිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටි ස්‌කොට්‌ලන්න ජාතිකයා පිළිබඳ ඉතාම වැදගත් තොරතුරු රැසක්‌ පොලිසිය වෙත ලැබී තිබුණේය. ඒ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය හරහා ය.
මාලිගාවත්ත අරලිය උයන ක්‍රීඩාංගණය අසල අබිරහස්‌ අන්දමින් මියගොස්‌ සිටි ස්‌කොට්‌ලන්න ජාතිකයා චාල්ස්‌ ජීවන් බෙයා නමැති 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය හඳුනා ගත්තේය. චාල්ස්‌ වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.
ස්‌කොට්‌ලන්තයේ ප්‍රසිද්ධ පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූ චාල්ස්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඉංජිනේරුවකු ලෙස රැකියාවක්‌ කළේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී චාල්ස්‌ තමන්ට නොගැලපෙන මිතුරන් ඇසුරු කිරීමට පටන් ගත්තේය. මේ නොගැලපෙන මිතුරන් ඇසුර චාල්ස්‌ සෙල්ලක්‌කාරයකු බවට පත් කළේය.
මිතුරන්ගේ පෙරැත්තය නිසාම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ චාල්ස්‌ වැඩිකල් නොගොස්‌ දැඩි මත්කුඩු ලෝලියකු බවට පත් වුණේය.
රැකියාවෙන් උපයන මුදල් සියල්ල හෙරොයින් පානය සඳහා වැය කළ චාල්ස්‌ මවුපියන්ගෙන් මෙන්ම ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ද මුදල් ලබාගෙන ඒ මුදල් වලින් ද මත්ද්‍රව්‍ය පානය කළේය.
චාල්ස්‌ගේ මේ නොමනා චර්යාවන් මවුපියන්ට මෙන්ම ඥාති හිතමිත්‍රාදීන්ට ද මහා හිසරදයක්‌ විය. චාල්ස්‌ගේ මවුපියන් මෙන්ම නෑ හිතවතුන් ද ඔහු යහමඟට ගැනීමට දැඩි වෙහෙසක්‌ ගත්හ. එහෙත් ඒ සියල්ල ගඟට ඉනි කැපුවාක්‌ මෙන් විය.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට චාල්ස්‌ කොතෙකුත් උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැත.
පුනරුත්ථාපන කඳවුරකට ඇතුළත් කර චාල්ස්‌ මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීමට ඔහුගේ දෙමාපියන් කටයුතු කරන්නේ මේ අතරතුරදී ය. රටවල් කීපයක ඇති පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන කීපයක්‌ පිළිබඳ චාල්ස්‌ගේ දෙමාපියන් සොයා බැලූහ. එවැනි පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයකට ඇතුළත් කිරීමට අවම වශයෙන් ඩොලර් 25,000 ක මුදලක්‌ අවශ්‍ය විය. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ හතළිහකට ආසන්නය. එහෙත් එතරම් විශාල මුදලක්‌ චාල්ස්‌ වෙනුවෙන් වැය කිරීමට ඔහුගේ දෙමාපියන්ට හැකියාවක්‌ තිබුණේ නැත.
මේ අතරම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් මුදා ගැනීමේ පුනරුත්ථාපන කඳවුරක්‌ ශ්‍රී ලංකාවේ ඇති බව චාල්ස්‌ගේ දෙමාපියන් සොයා ගත්හ. එම කඳවුරට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැය වන්නේ ඩොලර් 4000 ක පමණ මුදලක්‌ බව දැන ගැනීමෙන් චාල්ස්‌ගේ දෙමාපියන් දැඩි ලෙස සතුටු වූහ.
චාල්ස්‌ ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන කඳවුරක්‌ වෙත ඇතුළත් කර ඔහුට ප්‍රතිකාර කරවීමට අවශ්‍ය කටයුතු දෙමාපියන් විසින් සම්පාදනය කළහ. මවුපියන්ගේ මෙන්ම නෑ හිතමිතුරන්ගේ මූල්‍ය දායකත්වයෙන් චාල්ස්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කෙසේ හෝ හෙරොයින් භාවිතයෙන් මිදීමේ අරමුණ ඇතිවය. සංචාරක වීසා ලබාගෙන චාල්ස්‌ ජීවන් බෙයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මීට මාස දෙකකට පමණ උඩදීය.
චාල්ස්‌ දකුණු පළාතේ පිහිටි එක්‌තරා පෞද්ගලික ආයතනයක්‌ විසින් පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයක්‌ වෙත ඇතුළත් වන්නේ කෙටි කාලයකින් හෙරොයින් භාවිතයෙන් මිදීමේ අරමුණෙනි.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්‌ථානය ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන ගියද එහි සේවය කළ බහුතරයක්‌ විදේශිකයන්ය. චාල්ස්‌ මෙම පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ මාස දෙකකට ආසන්න කාලයක්‌ නේවාසික ප්‍රතිකාර ලැබුවද, යහපත් ප්‍රතිඵල ලැබුණේ නැත. පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ නියෝජිතයන් චාල්ස්‌ හෙරොයින් භාවිතයෙන් මුදා ගැනීමට කොතෙකුත් උත්සාහ කළ ද එය සාර්ථක නොවීය.
පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේදී පවා ඔහු හොර රහසේම හෙරොයින් පානය කළේය. චාල්ස්‌ හොර රහසේ හෙරොයින් පානය කරමින් සිටි අවස්‌ථා කීපයකදීම පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ සේවකයන්ට හසුවූහ. කොතෙකුත් අවවාද අනුශාසනා කළ ද ඉන් සාර්ථක ප්‍රතිඵල අත් නොවීය.
අවසානයේ පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පාලකයන් තීරණය කළේ චාල්ස්‌ නැවත ඔහුගේ මවු රටට යෑවීමටය.
“ඔයාට ඔයාගෙ හිත පාලනය කර ගන්න බෑනේ. අවුරුදු ගණනක්‌ ප්‍රතිකාර කළත් ඔයාව යහමඟට ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා අපි ඔයාව ඔයාගෙ රටට යවන්න තීරණය කළා. ජනවාරි 01 වැනිදා උදේ ලෑස්‌ති වෙන්න මවු රටට යන්න.”
පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ පාලකයන් චාල්ස්‌ට දැනුම් දුන්හ. පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයේ නියෝජිතයන් දෙදෙනෙක්‌ ඉකුත් 01 වැනිදා අලුයම චාල්ස්‌ රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ආහ. බ්‍රිතාන්‍ය බලා යන ගුවන් යානයකින් චාල්ස්‌ පිටත් කර යෑවීමට සියලු කටයුතු සම්පාදනය කළ මෙම නිලධාරීන් දෙදෙනා ආපසු පිටව ගියහ.
සිය මවු රට බලා යන බව කියමින් ගුවන් තොටුපළට ඇතුළු වූ චාල්ස්‌ හොර රහසේම නැවත ඉන් පිටතට ආවේය.
තම මවු රටට යැමට චාල්ස්‌ට කැමැත්තක්‌ තිබුණේ නැත. ඔහුට අවශ්‍යව තිබුණේ තවත් කාලයක්‌ ශ්‍රී ලංකාවේ ගත කිරීමටය. හිතේ හැටියට හෙරොයින් පානය කරමින් නිදහසේ ජීවත්වීමට ශ්‍රී ලංකාව තුළ තමන්ට හැකි බව චාල්ස්‌ සිතුවේය. ගුවන්තොටුපළින් පිට වූ චාල්ස්‌ කුලී රථයක නැගී කොළඹට ආවේ අරමුණක්‌ නොමැතිවය. මරදාන ප්‍රදේශයේ නවාතැන්පළක කාමරයක්‌ කුලියට ගත් චාල්ස්‌ එහි නතර වන්නේ අනාගතය ගැන කිසිදු සැලසුමක්‌ නොමැතිවය.
හෙරොයින් පානය නොකර දවස ගෙවා ගැනීමට චාල්ස්‌ට ශක්‌තියක්‌ තිබුණේ නැත. මරදානේ පිහිටි නවාතැන්පළෙන් පිට වූ චාල්ස්‌ ප්‍රධාන මාර්ගය ඔස්‌සේ ඇවිද යන්නේ හෙරොයින් පැකට්‌ කීපයක්‌ මිලදී ගන්නා ස්‌ථානයක්‌ සොයමින්ය.
හෙරොයින් අලෙවි කරන ස්‌ථාන පිළිබඳව තොරතුරු දන්නේ ත්‍රිරෝද රථ රියෑදුරන් බව චාල්ස්‌ දැන සිටියේය. ඔහු මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථ කීපයකටම නතර වන ලෙස කියමින් අතින් සංඥා කළේය.
මැලේ ජාතිකයකු වූ බැසිල්, චාල්ස්‌ට මුණ ගැසෙන්නේ මේ අතරතුරදීය. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව ඇති බැසිල් ස්‌කොට්‌ලන්ත ජාතිකයාගේ අවශ්‍යතාව විමසා සිටියේය.
චාල්ස්‌ ත්‍රිරෝද රථ රියෑදුරුගෙන් මුලින්ම විමසා සිටියේ මත්පැන් පානය කිරීමට ඇති ස්‌ථානයක්‌ පිළිබඳවය. චාල්ස්‌ ඉතාම කෙටි වේලාවකදී බැසිල් සමඟ මිතුදමක්‌ ගොඩනඟා ගත්තේය.
“අරක්‌කු බීලා මට මදි වගේ. හෙරොයින් පැකට්‌ දෙකක්‌ හොයා ගන්න ලැබුණොත් ලොකු දෙයක්‌. මම ලොකු අපහසුවකින් ඉන්නේ.”
චාල්ස්‌ නොසඟවා සත්‍ය හෙළි කළේය. බැසිල් තම ජංගම දුරකථනයෙන් මිතුරකුට ඇමතුමක්‌ ලබා ගත්තේය. ඒ මිතුරා වාප්පු ලිපිකරුවෙකි. නසාර් නමැති වාප්පු ලිපිකරු හෙරොයින් සිල්ලරට අලෙවි කරන පුද්ගලයකු හඳුනාගෙන සිටියේය.
වික්‌ටර්ගෙ ඉල්ලීම මත නසාර් මරදානට ආවේය.
“මේ සුද්දට පැකට්‌ දෙකක්‌ ඕනෙලු. අපට ගාණක්‌ කඩාගන්න පුළුවන්. කොහෙන් හරි බඩු ටිකක්‌ හොයලා දෙන්න ඕනෙ.”
වික්‌ටර් තම මිතුරා වූ නසාර්ට කීවේය. නසාර් මොහොතක්‌ කල්පනා කළේය.
“පැකට්‌ දෙකක්‌ හාරදාහක්‌ වෙනවා.”
නසාර් කීවේය. නසාර් කියූ දෙය බැසිල් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය.
චාල්ස්‌ දෙවරක්‌ නොසිතාම තම මුදල් පසුම්බියෙන් රුපියල් හාර දහසක මුදලක්‌ ගෙන එය බැසිල් අත තැබුවේය.
“මේ හාරදාහෙන් පැකට්‌ දෙකක්‌ ගන්න. ඉතිරි දහදාහ ඔය දෙන්න බෙදාගන්න.”
චාල්ස්‌ බැසිල්ට කීවේය. චාල්ස්‌ අත විශාල මුදලක්‌ ඇති බව බැසිල් මෙන්ම නසාර් ද සිතූහ. ඔවුන් දෙදෙනා චාල්ස්‌ ද කැටුව මරදාන ප්‍රදේශයේ එක්‌තරා තිප්පොළකට ගියහ. එහිදී චාල්ස්‌ගේ අවශ්‍යතාව සපුරාදීමට ඔවුන් කටයුතු කළෝය. හෙරොයින් පැකට්‌ දෙක දැකීමෙන් චාල්ස්‌ දැඩි ලෙස සතුටට පත්වුණේය.
“අපි කොහේ හරි යමු. මට මේක නිදහසේ ගන්න ඕනෙ.”
චාල්ස්‌ තම සගයන් දෙදෙනාට කීවේය.
ස්‌කොට්‌ලන්ත ජාතිකයාගෙන් තවත් මුදල් ලබා ගත හැකි බව තේරුම් ගෙන සිටි බැසිල් ඔහු තම නිවසට කැඳවාගෙන යැමට තීරණය කළේය.
“මගේ නෝනයි, ළමයි දෙන්නයි ගමේ ගිහින්. අපේ ගෙදර නිදහසේ ඉන්න පුළුවන්. අපි යමු…”
බැසිල් තම විදේශ මිතුරා සහ නසාර්ද ත්‍රිරෝද රථයේ නන්වාගෙන මරදානේ පිහිටි නිවස වෙත ගියේය. අතරමගදී චාල්ස්‌ දෙහි ගෙඩි කීපයක්‌ සහ සිගරට්‌ පැකට්‌ටුවක්‌ ද මිලට ගත්තේය.
චාල්ස්‌ නිවසට රැගෙන ගිය අවස්‌ථාවේ සිට සිදු වූ සියල්ල බැසිල් සහ නසාර් පොලිසිය හමුවේ හෙළි කරන්නට පටන් ගත්හ. එහෙත් ඔවුන් සත්‍යය වසන් කරන බව සැක පළ කළහ.
චාල්ස්‌ අපේ ගෙදරට ආවට පස්‌සේ හෙරොයින් පැකට්‌ දෙක සිරින්ජරයකට දාගත්තා. කඩෙන් ගත්ත දෙහි ගෙඩිය මිරිකලා යුෂ ටිකක්‌ ඒ සිලින්ජරයටම දැම්මා. පස්‌සෙ එයා ඒ සිරින්ජරය ඇඟට ඇතුල්කර ගත්තා.
ටික වෙලාවක්‌ යද්දී චාල්ස්‌ කිව්වා එයාට නිදිමතයි කියලා. මම කිව්වා එහෙමනම් ඔයා ගෙදර ටිකක්‌ නිදාගෙන ඉඳලා යන්න කියලා.
මම හයර් එකක්‌ යන්න පිටත් වුණා. නසාර් එයාගෙ ගෙදර යනවා කියලා ගියා.
මම පැය දෙකකට විතර පස්‌සෙ ගෙදර ආවා. ඒ එනකොටත් චාල්ස්‌ හොඳටම නිදි. මම එයාව ඇහැරවන්න හැදුවා. ඒත් එයා නැගිට්‌ටෙ නැහැ. අන්තිමෙ මම එයාගෙ නාඩි අල්ලලා බැලුවහම දැන ගත්තෙ එයා මැරිලා කියලා.
මම හොඳට බය වුණා. මම නසාර්ට කෝල් කළා. එයත් අපේ ගෙදර ආවා. අපි කතා වුණා මොකද කරන්නෙ කියලා. නසාර් කිව්වා පාන්දර වෙනකල් ඉඳලා චාල්ස්‌ගෙ මිනිය කොහෙට හරි ගිහින් දාමු කියලා.”
“මමත් ඒකට එකඟ වුණා. අඟහරුවාදා පාන්දර අපි දෙන්නා චාල්ස්‌ගෙ මිනිය මාලිගාවත්තෙ පිට්‌ටනිය ළඟට දැම්මා. චාල්ස්‌ගෙ බෑග් එක අරගෙන ගිහින් පුච්චලා දැම්මා.”
බැසිල් සිදු වූ සියල්ල ගිරවකු මෙන් කියාගෙන ගියේය.
එහෙත් බැසිල් සහ නසාර් කියන බොහෝ දේ සත්‍යයෙන් තොර බව පොලිසියට පැහැදිලිය.
චාල්ස්‌ ජීවන් ඩෙයාගේ මරණ පරීක්‍ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ලබා දී තිබුණේය.
චාල්ස්‌ගේ හිසේ සහ මුහුණේ තුවාල කීපයක්‌ තිබිණි. මේ පිළිබඳව බැසිල්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ චාල්ස්‌ ත්‍රිරෝද රථයේ දමාගෙන එන විට ඔහුගේ හිස වෙනත් ත්‍රිරෝද රථයක ගැටී තුවාල සිදු වූ බවය.
බැසිල් සහ නසාර් කිවූ බොහෝ දේ එකිනෙකට පරස්‌පර විරෝධීය. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා, සහකාර පොලිස්‌ අධිකාරි උදය හේමන්ත, මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ඒකනායක ඇතුළු නිලධාරීන් චාල්ස්‌ගේ මරණය පිටුපස ඇති සත්‍ය කතාව සෙවීමට වෙහෙසෙමින් සිටිති.
සත්‍ය කිසිදා වසන් කළ නොහැක. එය හෙට දිනයේ හෙළිවනු නොඅනුමානය. හෙරොයින් මාරයාගෙන් ජීවිතය බේරාගැනීමට ස්‌කොට්‌ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි චාල්ස්‌ ජීවන් බෙයාට සිදුවුණේ අකාලයේ ජීවිතයෙන් සමුගෙන යැමටය.
චාල්ස්‌ ජීවන් බෙයා පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේද? ඔහු මරා දැමුවේ කුමන පරමාර්ථයකින්ද? හෙට දිනයේ ඒ සත්‍යය හෙළි වනු ඇත.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!