Hot News

ඇමරිකානු මැරීන් භටයන් ත්‍රිකුණාමලයට… ඔත්තු බැලීමේ යානාව මත්තලට… කොහොමද වෙනස ?

ඇමරිකානු මැරීන් භටයන් ත්‍රිකුණාමලයට… ඔත්තු බැලීමේ යානාව මත්තලට… කොහොමද වෙනස ?

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව යුද වැදීම සඳහා ගුවන් හමුදාවේ බෙල් හෙළිකොප්ටර් යානාවලට අමතර කොටස්‌ ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන වසර ගණනකට පෙර ඇමරිකානු රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. “යෑංකි ඩිකී” යනුවෙන් විරුදාවලි ලත් ඡේ. ආර්. තම ඉල්ලීම ඇමරිකානුවන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා කෝපයට පත් විය. එහෙත් අමතර කොටස්‌ ලබා ගැනීමේ උත්සාහය ඔහු අත්හැරියේ නැත.
යකා බැරිනම් යකාගේ ආච්චිගෙන් හෝ මම උදව් ඉල්ලනවා යෑයි පැවසූ ඡේ. ආර්. ඊශ්‍රායලයෙන් අමතර කොටස්‌ ලබාගැනීමට ක්‍රියා කළේය.
ඡේ. ආර්. ගෙන් පසු පැමිණි චන්ද්‍රිකා කුමාරතුංග රජය යකාගේ ආච්චි යෑයි ඡේ. ආර් හැඳින්වූ ඊශ්‍රායලයෙන් කපීර් ප්‍රහාරක යානා ලබාගැනීමට උත්සාහ කළේය.
එම අවස්‌ථාවේ ද විරුද්ධ වූ ඇමරිකාව කපීර් ප්‍රහාරක යානාවල ඇත්තේ ඇමරිකානු ජෙනරල් ඉලෙක්‌ටි්‍රක්‌ එන්ජින් යයි පවසා එම යානා ශ්‍රී ලංකාවට විකිණීමෙන් වළකින ලෙස ඊශ්‍රායලයට දන්වනු ලැබීය. එහෙත් ඊශ්‍රායල් රජය ඇමරිකානු ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් සිංගප්පූරුව හරහා කපීර් යානා ශ්‍රී ලංකාවට අලෙවි කළේය.
1995 වසරේÊයාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුමේදී ප්‍රහාරක හෙළිකොප්ටර්වල අවශ්‍යතාවය මතුවූ විට බ්ලැක්‌ හෝර්ක්‌aa ප්‍රහාරක හෙළිකොප්ටර් මෙරටට විකිණීම ද ඇමරිකාව ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.
2002 වසරේදී ඇමරිකාව ඩොලර් මිලියන 360 කට වසර 36 ක්‌ පැරණි කරේජස්‌ නමැති මුර යාත්‍රාව අලුත්වැඩියා කර මෙරටට ලබා දුන්නේය. එය සයුර ලෙස නම් විය. එහෙත් එම නැවේ චීන අවි සවිකිරීමට, ඇමරිකානු රජය ඉඩ දුන්නේ නැත. නැව අලුත්වැඩියා කිරීමට වැය වූයේ ශ්‍රී ලංකාවේ මුදල් ය.
මෙවන් පසුබිමක්‌ මැද 2009 මාර්තු මස ඇමරිකාව සහ නෝර්වේ රටවල් එක්‌ව කොටි නායක ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් 260 ක්‌ මුදා ගැනීමට දියත් කළ මෙහෙයුම නතර කර දැමීමට සිදු විය.
එම මෙහෙයුමට අනුව හවායි දූපතේ පැකොම් හමුදා මූලස්‌ථානයේ මැරින් බළකායක්‌ මුලතිව් වෙරළට පැමිණීමට නියමිත විය.
එහෙත් 2016 නොවැම්බර් මස එනම් ප්‍රභාකරන් බේරා ගැනීමේ උත්සාහයෙන් වසර 7 කට පසු ඇමරිකානු මැරින් බළකා කණ්‌ඩායමක්‌ ඇමරිකානු නාවික හමුදාවට උපාය මාර්ගික වශයෙන් වැදගත් ත්‍රිකුණාමල වරායට සම්ප්‍රාප්ත විය. එම බළකාය පැමිණියේ සමර්සෙට්‌ යුද්ධ නැවෙනි. එසේම පැකොම් මූලස්‌ථානයේ තරු හතරේ නාවික ප්‍රධානියා වූ අද්මිරාල් හැරී බී. හැරිස්‌ ද මෙරටට පැමිණියේය.
ශාන්තිකර සාගරයේ පිහිටි ඇමරිකානු හමුදා මූලස්‌ථානයේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාව කෙරේ ඇමරිකානුවන්ගේ උනන්දුවේ යථාර්ථය සනාථ විය.
අද්මිරාල් වරයා මෙරටට පැමිණෙන අවස්‌ථාවේ තවත් විස්‌මිත සිද්ධියක්‌ හෙළි විය. ඒ දෙසැම්බර් 6 වැනිදා කොල්ලුපිටියේ මුහුදු වෙරළ සමීපයේ ඇමරිකානු නව තානාපති කාර්යාලය ඉදිකිරීමේ ක්‍රියාදාමය තානාපති අතුල් කේශාප් විසින් ආරම්භ කිරීමයි. මෙහි ප්‍රමාණය අක්‌කර 5 කි.
මෙය මෙරට විශාලතම ඇමරිකානු තානාපති සංකීර්ණයි. ඊට ඇමරිකානු මැරින් භටයන් සඳහා වූ ලැගුම්හලක්‌ ද අයත් ය. එහෙත් මෙරට රජයේ බලධාරීන් නුඹලාට මෙතරම් විශාල සංකීර්ණයක්‌ අවශ්‍යව ඇත්තේ කුමකටදැයි ඇමරිකානුවන්ගෙන් විමසුවේ නැත. ඇමරිකානු විදේශ පිළිවෙත සාර්ථක කර ගැනීමේ අරමුණින් නව තානාපති කාර්යාලය ඉදිකිරීම ආරම්භ කළ බව ප්‍රකාශ විය.
මේ අතර ඇමරිකානු මැරින් බළකාය මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාවට මැරින් ඒකකයක්‌ ආරම්භ කිරීමට යෑයි ඇමරිකානු බලධාරීන් කියා සිටියහ.
පැකොම් මූලස්‌ථානයේ ප්‍රධානි අද්මිරාල් හැරිස්‌ ශ්‍රී ලංකාව කෙරේ ඇමරිකානුවන් සහය දැක්‌වීමට මුල් වූ හේතුව අනාවරණය කළේය.
ඉන්දීය සාගරයේ වැදගත් කේන්ද්‍රස්‌ථානයක ශ්‍රී ලංකාව පිහිටා තිබීම තුළින් ඉදිරියේ අපට ශ්‍රී ලංකාව උපාය මාර්ගික ලෙස වැදගත් ස්‌ථානයක්‌ වෙනවා යෑයි අද්මිරාල් හැරිස්‌ කියා සිටියේය.
අද්මිරාල් හැරිස්‌ මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ චීනය, ඉන්දීය සාගරයට පිවිසීම නිසාය. මාලදිවයිනේ මැලේ ගුවන්තොටුපළ නවීකරණය කිරීම බාරගෙන ඇත්තේ චීනයයි. එසේම මාගම්පුර වරාය ද පාලනය කිරීම චීන සමාගමකට පැවරී ඇත. මෙය ඉන්දීය සාගරයේ ඇමරිකානු ආධිපත්‍යයට එල්ලවූ තර්ජනයකි. පසුගිය සතියේ මාගම්පුර වරායේදී වැඩ වර්ජකයන් විදේශ නැව් දෙකක්‌ ප්‍රාණ ඇපයට ගැනීමේ සිද්ධියත් සමඟම ඇමරිකානු පැකොම් හමුදා මූලස්‌ථානයට අයත් පී 8 පොසිඩන් නමැති අධි තාක්‍ෂණික යානාව මත්තල ගුවන්තොටුපළට පැමිණ ඇත.
මෙම ඔත්තු බැලීමේ යානාව මත්තලට පැමිණීමට කිසිදු හේතුවක්‌ නැත. එහෙත් නාවික හමුදා ආරංචි මාර්ග පැවසුවේ ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමග අභ්‍යාස පැවැත්වීමෙන් පසු එම යානාව මත්තලට ගොඩබා පසුව පිටව ගිය බවයි.
එහෙත් මත්තල ගුවන් තොටුපළේදී එම ඇමරිකානු යානාවට ඉන්ධන ලබා ගැනීSමක්‌ හෝ කිසිදු අභ්‍යාසයකට සහභාගි වී නැත. එසේ නම් එම අධි තාක්‍ෂණික යානාව මත්තලට පැමිණීමේ ක්‍රියාදාමය පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු අද්මිරාල්වරයා නාවික ක්‍ෂේත්‍රයට අමතරව ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාමාර්ගය ගෙන යන ලෙස රජයෙන් ඉල්ලා ඇත. එවන් ඉල්ලීමක්‌ කිරීමට ඔහුට කිසිදු හිමිකමක්‌ නැත.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දශක තුනක්‌ ෙ€දනීය තත්ත්වයක්‌ පැවැති බවය.
එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූයේ ත්‍රස්‌තවාදී ව්‍යාපාරයක්‌ බව අද්මිරාල්වරයා නොදැන සිටි බව කිව හැකිද?
කොටින්ට එරෙහි යුද්ධය දරුණු ලෙස ක්‍රියාත්මක වන සමයේ ඇමරිකාව ශ්‍රී ලංකාවට යුද අවි සැපයීමට ක්‍රියා නොකළ අතර චීනය සහය විය. එම පසුබිම මත අද්මිරාල් තවදුරටත් පැවසුවේ ඉන්දීය සාගරයේ කරුණු ඇමරිකාවට වැදගත් සේම ශ්‍රී ලංකාවේ කරුණු ඇමරිකාවට වැදගත් වන බවයි.
එහෙත් මෙරට කිසිම දේශපාලකයෙක්‌ ඇමරිකාවට වැදගත් වන ශ්‍රී ලංකාවේ කරුණු කුමක්‌දැයි අද්මිරාල්ගෙන් ප්‍රශ්න කළේ නැත. මෙවන් ප්‍රකාශ මැද ඇමරිකානු පොසිඩන් ඔත්තු බැලීමේ යානාව මත්තලට පැමිණියේ චීනය හැදූ එම ගුවන් තොටුපළ බැලීමට නොවේ.
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය තුළම ඇමරිකානු ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයක්‌ ස්‌ථාපිත කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලුතිනන් කමාන්ඩර් ඩේවිඩ් චෙයන්ය.
මේ ඇමරිකානු හමුදා නිලධාරියාගේ කාර්යභාරය මේ වනවිට හෙළි වී ඇත. මේ වසරේÊඅගෝස්‌තු 15 සිට 22 දක්‌වා ශාන්තිකර සුරදූතයා නමින් ඇමරිකාව යාපනයට මෙහෙයුමක්‌ දියත් කළේය. එය මානුෂික මෙහෙයුමක්‌ බවත් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා දියත් වූවක්‌ බවටත් ප්‍රකාශ විය.
මේ මානුෂික මෙහෙයුම අනුව සී. 130 හර්කියුලිස්‌ යානාවක්‌ පලාලි ගුවන්තොටුපළට පැමිණියේය. එහෙත් උතුරේ ජනතාව සුනාමි හෝ වෙනත් විපතකට ලක්‌වී තිබුණේ නැත. ඉන්පසු ඇමරිකානු නාවික ලේකම්වරයා රැගත් ගල්µaaස්‌ටි්‍රම් නමැති හමුදා යානාව කටුනායකට පැමිණ ආපසු පිටත්ව යැමට පෙර චීන වරාය ගුවන්තොටුපළට ගොඩ බස්‌වා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශය හා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව එම ඇමරිකානු යානාවට චීන වරායට ගොඩ බැස්‌සීමේ අවසරය දුන්නේය. එහෙත් කටුනායක සිට සෘජුව ඇමරිකාවට යාහැකි ගල්ස්‌ටි්‍රම් හමුදා යානාව චීන වරාය ගුවන්තොටුපළේ ගොඩබැස්‌සුවේ මන්දැයි ඇමරිකානු බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට රජයේ යාන්ත්‍රණය ඉදිරිපත් නොවුණි.
ඇමරිකානුවන්ගේ ශ්‍රී ලංකා මෙහෙයුමේ අලුත්ම ජවනිකාව පී. අට පොසිඩන් යානාව මත්තලට ගොඩබැස්‌සීමයි.
මේ ඔත්තු බැලීමේ යානාවේ විශේෂත්වය නම් එහි සෙන්සර් උපාංග සහ ඔත්තු බැලීමේ නිරීක්‍ෂණ තොරතුරු ගොඩබිමට හා මුහුදේ ක්‍රියාත්මක වන්නන්ට (නාවික යාත්‍රාවලට) ලබාදීමේ පණිවුඩ ක්‍රමයක්‌ තිබීමයි.
මේ අතර පසුගිය නොවැම්බර් 28 දා කොළඹ පැවැති ගාලු කතිකාවත නමැති නාවික සමුළුව සඳහා පැමිණි නිලධාරින් රැගත් යුද නැව් 7 ක්‌ ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබුණි.
යුද නැව් රැසකට පහසුකම් සැලසීමට නොහැකිවීම නිසා ත්‍රිකුණාමල වරායේ යටිතල පහසුකම් නංවාලීමට නාවික හමුදාව සැලසුම් කර ඇතැයි වාර්තා විය.
2015 ජනවාරි 8 දායින් පසු මෙරටට විදේශ නැව් 95 ක්‌ පැමිණ තිබුණි.
කොටි සංවිධානය පරාජය වීමෙන් පසු මෙරට පැවැත්වූ ආරක්‍ෂක සමුළුවට කිසිදු ඇමරිකානු හමුදා ප්‍රධානියකු නොපැමිණි අතර ඊට සහභාගි වූයේ ඇමරිකානු හමුදා කටයුතු බාර නිලධාරියා පමණකි. එහිදී කොටි සුදු කොඩි ඔසවාගෙන පැමිණි බවට දියත් වී ඇති ප්‍රචාරය තමා විශ්වාස නොකරන බව එම නිලධාරියා පැවසීම නිසා ඔහුට බරපතළ ප්‍රශ්නයකට මුහුණපෑමට සිදුවිය.
මෙවන් පසුබිමක්‌ මැද ඇමරිකානුවන් අද ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව වෙත පවසා ඇත්තේ ඇමරිකාව සහ ශ්‍රී ලංකා යන රටවල්වල හමුදාවක්‌ සබඳතාවය ශක්‌තිමත් කිරීමට ඇමරිකානු රජය ක්‍රියා කරන බවයි.
එහෙත් ඒ සබඳතාවයේ යථාර්ථය අනාවරණය වී ඇත. පසුගියදා ත්‍රිකුණාමල වරායට පැමිණි සමර්සෙට්‌ යුද නැවේ තිබූ විශාල වායුපා යානාවක්‌ ත්‍රිකුණාමල වෙරළ කලාපයට පැමිණ යුද අභ්‍යාසවල යෙදී ඇත.
මෙයට පෙර මුහුදේ සිට ගොඩබිමට පැමිණිය හැකි හෝවර් ක්‍රාප්ට්‌ හෙවත් වායුපා යානාවක්‌ මෙම උපාය මාර්ගික වෙරළට පැමිණ නැත. එහෙත් මෙරට ආරක්‍ෂක යාන්ත්‍රණය ඇමරිකානු සහයෝගීතාවය නමැති රැවටීමේ ක්‍රමවේදයට ගොදුරුවී ත්‍රිකුණාමල වෙරළ ඇමරිකානු මැරින් බළකායට විවෘත කරනු ලැබීය.
එසේ වුවත් හමුදා සහයෝගීතාවය ගැන හඬනගන ඇමරිකානුවන් ශ්‍රී ලංකාවේ හමුදා යුද අපරාධ සිදු කළ බවට චෝදනා කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව ඉල්ලා අස්‌කරගෙන නැත.
මෙම වාතාවරණය මත රජයේ යාන්ත්‍රණය ඇමරිකානුවන්ගේ උප්පරවැට්‌ටිය තේරුම් ගෙන නැත.
හවායිහි පැකොම් මූලස්‌ථානය නාවික හමුදාවට මැරින් බළකායක්‌ පුහුණු කළේ කොටි යුද්ධය අවසන්වී වසර 7 කට පසුවය. එහෙත්, එදා කිසිදු යුද පුහුණුවක්‌ දීමට ඇමරිකානුවන් එළැඹියේ නැත.
ශ්‍රී ලංකා හමුදාව ත්‍රිකුණාමලයට නුදුරු සාම්පූර් කොටි කඳවුරට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කළ අවස්‌ථාවේ එය සත්‍යයක්‌ ද විමසීමට හමුදා මූලස්‌ථානයට දිව ආවේ ඇමරිකානු තානාපති නිලධාරියෙකි. මෙවන් දීන ඉතිහාසයක්‌ ඇති ඇමරිකානුවන් ගේ මෙම යුද අභ්‍යාස මෙහෙයුම් තවදුරටත් පුළුල් වන්නේa මාගම්පුර වරාය චීනය විසින් පාලනය බාර ගැනීමත් සමගය.
මේ අතර වසර 23 ක්‌ තිස්‌සේ ඉරණවිල ක්‍රියාත්මක වූ ඇමරිකානු හඬ සම්ප්‍රෙAෂණ මධ්‍යස්‌ථානය වසා දැමීමට ඇමරිකානු බලධාරීන් තීරණය කර ඇත. 1993 වසරේදීS ජනතා විරෝධය නොතකා ඉදිකළ මෙම ඇමරිකානු සම්ප්‍රේෂණාගාරයට අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක්‌ අයත් විය.
ඉරණවිල පිහිටි එම ස්‌ථානය ඇමරිකානු රජය යටතේ පාලනයවූ අතර මෙරට ආරක්‍ෂක හමුදාවට පවා ඇතුළු වීම තහනම් විය.
මෙම අධි බලැති සම්ප්‍රේෂණාගාරය හා ඉන්දීය සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු නාවික යාත්‍රා අතර පණිවුඩ සම්බන්ධතා පැවැති බවටද වාර්තා විය.
ඇමරිකානු තානාපති වරප්‍රසාද යටතේ ක්‍රියාත්මක වූ වොයිස්‌ ඔµa ඇමරිකා සම්ප්‍රේෂණාගාරය ඉවත් කර ගැනීම සම්බන්ධ හේතූන් ඇමරිකානු බලධාරීන් ප්‍රකාශයට පත් කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!