Hot News

රතනගේ බොළඳ කලකිරීම සහ බුද්ධි අංශ දඩයම….

රතනගේ බොළඳ කලකිරීම සහ බුද්ධි අංශ දඩයම….

අතුරලියේ රතන හිමි යනු වත්මන් යහපාලන ආණ්‌ඩුව කරළියට ගෙන ඒමට බොහෝ සේ වෙහෙස ගත් චීවරධාරියෙකි. එහෙත් පසුගියදා මාධ්‍ය ඉදිරියට පැමිණි ඔහු යහපාලන ආණ්‌ඩුව තිබියදී අද රට තුළ සිදුවෙමින් තිබෙන බරපතළ කාරණාවක්‌ ගැන වැදගත් හෙළිදරව්වක්‌ කළහ.
එකී හෙළිදරව්ව වූයේ ජාතික ආරක්‍ෂාව බිංදුවට ඇද දමමින් මේ මොහොතේත් හිතුවක්‌කාරී ලෙස සිදු වෙමින් තිබෙන බුද්ධි අංශ දඩයමේ අභ්‍යන්තර කතාවය. උන් වහන්සේට අනුව සීඅයිඩීය දිගින් දිගටම සිදු කරගෙන යන යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිටුපස සිටිනුයේ එන්ජීඕ නඩ ඊනියා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවෝය.
රතන කියනුයේ ඒ සඳහා යහපාලන ආණ්‌ඩුවේ කිසිදු සබඳතාවක්‌ නැතැයි කියාය. කෙසේ වෙතත් සීඅයිඩීයේ විමර්ශන හමුවේ බුද්ධි අංශ නිලධාරීන් මේ අන්දමට දඩයම් කෙරෙදදී රටේ ජාතික ආරක්‍ෂාව බිඳ වැටී බරපතළ තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙන බවද උන්වහන්සේ අවධාරණය කරන්aනාහ.
රතන එසේ පවසද්දී ඉකුත් සතියේ මාධ්‍ය හමුවක්‌ සංවිධානය කළ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝද මෙකී බුද්ධි අංශ දඩයම ගැන කතා කරන්නට වූහ. හිතුවක්‌කාරී ලෙස බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ සිරගත කිරීම රජයේ අනුදැනුම මත සිදුවන රහස්‌ පොලිසියේ නොහොබිනා ක්‍රියාවක්‌ බවද එහිදී උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙසේ බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන කිරීම හමුවේ සීඅයිඩීයේ එක්‌තරා නිලධාරියකුට ඩබල් ප්‍රොමෝෂන් පවා හිමිවී තිබෙන බවද එම මාධ්‍ය හමුවේදී කියා සිටි නාලක හිමියෝ මේ විමර්ශනවලට සම්බන්ධ තවත් නිලධාරියකු ගැන පවසමින් අමුතු නමක්‌ද සඳහන් කළහ.
මේ අන්දමට නාලක හිමියන් පැවසූ අකාරයේ නිලධාරීනුත් බුද්ධි අංශවලට එරෙහි විමර්ශනවල කොටස්‌කරුවන් වී සිටින්නේ නම් මෙහිදී අපට මතුවන ගැටලුවක්‌ද ඇත. ඒ යහපාලනය ඇති වූ දින පටන් ආරම්භ වූ බුද්ධි අංශ දඩයම තුළ සිදු වෙමින් තිබෙන්නේ විදේශගත කොටි ඩයස්‌පෝරාවේ වුවමනාවන් ඉටු කිරීමක්‌ද යන්නය.
මේ හෙළිදරව් සිදු වන්නට පෙර සිටම අපට ඒ සැකය ඇති වී තිබිණි. එහෙයින් බුද්ධි අංශ දඩයම හරහා සිදුවෙමින් තිබෙන්නේ කොටි ඩයස්‌පෝරාවේ වුවමනාවන් ඉටු කිරීමක්‌ නොවන්නේද යන ප්‍රශ්නය අවස්‌ථා ගණනාවකදීම අපි මතු කළෙමු. එහෙත් ඒ පිළිබඳ ආණ්‌ඩුව කිසිදු අවධානයක්‌ යොමු කරන බවක්‌ නම් දකින්නට තිබුණේ නැත.
බුද්ධි අංශ දඩයම හමුවේ අද ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වී තිබෙන්නේ යෑයි ආණ්‌ඩුව පාර්ශ්වයේ සිටින රතන හිමියන්ම මෙසේ අනාවරණය කරද්දී මේ මොහොතේත් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?
කියන්නට ඇත්තේ සත්‍යය මතු කරමින් දුම්මළ ගෝනි ගණන් ගැහුව්වද යහපාලනය තුළ මේ පිං බිමට වින කරන උන් තවමත් කිරි කොස්‌ අත්ත කඩාගෙන යමින් බුද්ධි අංශ දඩයම නතර කරන්නට සූදානම් නැති බවය. අප එසේ කියන්නේ රහස්‌ පොලිසියේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා දැනුදු ඒ අපරාධය විරාමයක්‌ නැතිවම කරගෙන යන නිසාය.
මේ මොහොතේත් නාවික හමුදාවේ සහ යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් අට දෙනකුම විවිධාකාර වූ අරුම පුදුම චෝදනා හමුවේ බන්ධනාගාරගතව සිටීම එයට ඇති පැහැදිලි උදාහරණයකි.
අද බුද්ධි අංශවලට එරෙහිව සීඅයිඩීය කරගෙන යනු ලබන මෙකී විමර්ශනවලදී දක්‌නට ලැබෙන එක්‌ විශේෂත්වයක්‌ද ඇත. ඒ සෑම අවස්‌ථාවකදීම විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන්නේ එල්ටීටීඊයේ පරාජයට ප්‍රබල ලෙස දායක වෙමින් උපන් රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක්‌ සිදු කළ බුද්ධි නිලධාරීන් වීමය.
දැනට රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින යුද සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිස ගෙන බැලුවද එකී විශේෂත්වය පැහැදිලිවම පෙනෙන්නට ඇත. මේ පිරිස අතර නාවික හමුදා බුද්ධි අංශයේ උසස්‌ නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ එක්‌ උසස්‌ නිලධාරියකු ඇතුළුව සෙසු නිලයන්ට අයත් බුද්ධි නිලධාරීන් පස්‌ දෙනකු සිටින්නාහ.
එසේ සිරගත කර සිටින මෙම නාවික සහ යුද හමුදා උසස්‌ නිලධාරීන් තිදෙනා කවුරුන්ද? නාවික හමුදා බුද්ධි බළකායේ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ, ලුතිනන් කමාණ්‌ඩර් ධම්මික අනිල් මාපා සහ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත එකී උසස්‌ නිලධාරීහු වන්නාහ.
මේ තිදෙනාම ඉකුත් යුද සමයේ පමණක්‌ නොව අවසන් සටන ඇරඹීමට පෙර සිටම තම උපන් බිම වෙනුවෙන් දිවි පරදුවට තබා සුවිශේෂී මෙහෙවරක්‌ කෙරුවෝය.
කමාණ්‌ඩර් සුමිත් රණසිංහ යනු යුද බිමේදී දක්‌වන ලද අසමසම නිර්භීතභාවය හමුවේ යුද බිමේදී උසස්‌වීම් ලද දැනට නාවික හමුදාවේ සිටින නිලධාරීන් අට දෙනා අතරින් කෙනකු වන අතර ඔහු එසේ උසස්‌වීම් ලබනුයේ ඉකුත් 2007 වසරේදීය.
එසේම රට වෙනුවෙන් කළ කැපකිරීම් හමුවේ යුද බිමේදී දෙවරක්‌ උසස්‌ වීම් ලද නාවික හමුදාවේ දැනට සිටින නිලධාරීන් දෙදෙනා අතරින්ද එක්‌ අයකු වන කමාණ්‌ඩර් සුමිත් රණසිංහ තම මාතෘ භූමිය උදෙසා ඉටු කළ මෙහෙවර වෙනුවෙන් අවස්‌ථා හයකදී නාවික හමුදාපතිවරුන් තිදෙනකු වෙතින් ප්‍රශංසාත්මක ලිපි ලැබූ නිලධාරියකු ද විය.
සතුරා සමඟ සටනේදී දක්‌වන ලද නිර්භීතභාවය හමුවේ තෙවරක්‌ම රණශූර පදක්‌කමෙන් පිදුම් ලබා ඇති ඔහු යුද බිමේදී තුවාල ලද සෙබළුන්ට පිදෙන දේශපුත්‍ර පදක්‌කම ඇතුළුව සිය නාවික හමුදා ජීවිතය තුළදී පදක්‌කම් 12 කින් පිදුම් ලබා ඇත.
වරක්‌ ත්‍රිකුණාමලයේදී කොටින්ගේ ක්‌ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී බරපතළ ලෙස තුවාල ලැබූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහ රෝහල්ගත කර සිටියදී ඔහු බැලීමට පැමිණි රණසිංහගේ ආදරණීය මෑණියන් එහිදී තම පුතු දැක ඇති වූ කම්පනය හමුවේ අදටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවද අද ඔහුව සිරගත කරමින් සීඅයිඩීයේ ෂර්ලොක්‌ හොම්ස්‌ලා කරනු ලබන අපරාධයේ තරම මේ රටේ ජනතාවට අවබෝධ කර ගැනීම පිණිස මෙහිදී සටහන් කළ යුතුය.
එකී කොටි ප්‍රහාරයේ ගොදුරක්‌ බවට පත්වූ කමාණ්‌ඩර් සුමිත් රණසිංහට එක්‌ කනක ශ්‍රවණාබාධයක්‌ සහ එක්‌ ඇසක පෙනීමේ දුර්වලතාවක්‌ ඇති වුවද හේ සීඅයිඩීය අත්අඩංගුවට ගන්නා තුරුම මේ රට වෙනුවෙන් බුද්ධි නිලධාරියකු ලෙස සුවිශේෂී මෙහෙවරක්‌ ඉටු කළ බව සීඅයිඩීයේ මහත්වරු නොදැන සිටියාට අප නම් දැන සිටියේය.
අත්අඩංගුවට ගන්නා මොහොත වන තුරුම මේ අප ජීවත් වන බස්‌නාහිර පළාත පිළිබඳ නාවික හමුදා ගොඩබිම් මෙහෙයුම් කටයුතුවල ප්‍රධානියා වී සිටියේද සුමිත් රණසිංහය.
ඉකුත් 2007 වසරේදී ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගත් කොටින්ගේ වැඩිම බෝම්බ ප්‍රමාණයක්‌ අටවා තිබූ කිලෝ ග්‍රෑම් 1008 බෝම්බ ලොරිය සොයාගත් නාවික හමුදා බුද්ධි කණ්‌ඩායමේ අණදෙන්නා වූයේද කමාණ්‌ඩර් සුමිත් රණසිංහ වන අතර අද සීඅයිඩී කැකිල්ලේ විමර්ශනයක්‌ හමුවේ සිරගත කර සිටින්නේ ඔහුවය. මෙහිදී ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ කුමක්‌ද?
ඒ ඉකුත් 2007 වසරේදී වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේයෑයි යන්නය. මෙකී පැහැර ගැනීම සිදු කළේ නාවික හමුදාවේ සිටි ලුතිනන් කමාණ්‌ඩර් සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායමක්‌ බව සීඅයිඩී විමර්ශනයක්‌ හමුවේම පැහැදිලි සාක්‍ෂි සහිතව තහවුරු වී තිබියදී අද සුමිත් රණසිංහට මෙසේ සිරගත වන්නට සිදු ව ඇත.
ඒ අදාළ පැහැර ගැනීම සිදු කළ ඇතැමුන්a රජයේ සාක්‍ෂිකරුවන් වෙද්දීය. එසේ එදා සීඅයිඩී ප්‍රශ්න කිරීම් හමුවේ තමන් එය සිදු කළ බව පිළිගත්ත උන් අට වසරකට පසු සීඅයිඩීයේ ෂර්ලොක්‌ හොම්ස්‌ලා ආරම්භ කළ නව විමර්ශනයේදී සුමිත් රණසිංහලා ගැන කරන ප්‍රකාශයකට අනුව ඔහුට මෙසේ සිරගත වන්නට සිදුව තිබෙන්නේ අරුම පුදුම ලෙසින්ය.
මේ සියල්ල පසුගියදා අධිකරණය හමුවේ දිග හැරිණි. එහිදී රහස්‌ පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ නීතිපති නොවිමසා බී වාර්තා ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසූ අතර අගතියට පත් පාර්ශ්වයේ එක්‌ නීතිඥවරියක්‌ සීඅයිඩීයෙන් විමසා සිටියේ සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් මෙකී නඩුවේ විත්තිකාරයකු වී නැත්තේ ඇයිද යන්නය.
ඒවාට දෙන්නට පැහැදිලි උත්තර සීඅයිඩීයට තිබුණේ නැත. ඒ හමුවේ විත්තියේ නීතිඥවරුන් අධිකරණයට කරුණු පෙන්වා දීමේදී සීඅයිඩීය ඇඹරුණු ඇඹරිල්ල අපට සිනහ ඉපදවූ බවද කිවයුතුය. කෙසේ වෙතත් එදින අධිකරණයේදී දිගහැරුණු වීශේෂිත කරුණක්‌ද විය. ඒ සුමිත් රණසිංහලාට චෝදනා එල්ල කළ සීඅයිඩීයට ඊට අදාළ ප්‍රධාන සාක්‍ෂිය වැඩිදුර බී වාර්තාවට ඇතුළත් කිරීමට අමතකව ගොස්‌ ඇති බවය.
සමහර වෙලාවට තණමල්විල මලක්‌ ගෙන බෝක්‌කු ගානේ රස්‌තියාදු ගසන උන්ට නම් එවන් අමතක වීම් සිදු වන බව නම් අප දන්නා දෙයකි. එහෙත් රහස්‌ පොලිසියේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලාට එසේ වන්නේ කෙසේද? ඒ බොරු ඇත්ත කිරීමට ගොස්‌ පොට පැටලුන නිසාද?
සීඅයිඩීය කියන සුමිත් රණසිංහට අදාළ කතාව එසේ වෙද්දී ලුතිනන් කමාණ්‌ඩර් ධම්මික අනිල් මාපාගේ කතාවද එවන්ම වූවක්‌ බව මෙහිදී සඳහන් කළ යුතුය. ලුතිනන් කමාණ්‌ඩර් මාපා යනු ඉකුත් 2006 වසරේදි එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් යාපනය කයිට්‌ස්‌ දූපත අත්පත් කර ගැනීමට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයේදී අභීතව එයට මුහුණ දෙමින් එල්ටීටීඊ ත්‍රස්‌තයන් පරාජය කිරීම හමුවේ රණ ශූර පදක්‌කමෙන් පිදුම් ලැබූ නිලධාරියාය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ලුතිනන් කමාණ්‌ඩර් මාපා 2007 වර්ෂයේදී ත්‍රිකුණාමලය නිලාවේලිහිදී කොටින්ගේ පිස්‌තෝල කල්ලියක්‌ රැඳී සිටි ආරක්‍ෂිත නිවස්‌නයකට කඩා වැදී ප්‍රහාරයක්‌ එල්ල කොට එහි සිටි කොටි නායකයා ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමටද සමත් විය. එකී කොටි නායකයා අදටද බූස්‌ස බන්ධනාගාරයේ රඳවා සිටින්නේය.
ඒ අයුරින් කමාණ්‌ඩර් සුමිත් රණසිංහ හා සමානම සේවයක්‌ උපන් රට වෙනුවෙන් සිදු කර අපට සාමය දිනා දෙන්නට දිවි පරදුවට තබා කැපවූ ලුතිනන් කමාණ්‌ඩර් මාපාට අද සීඅයිඩීය එල්ල කර ඇති චෝදනාව වන්නේ කුමක්‌ද? දෙමළ ව්‍යාපාරිකයන් දෙදෙනකු වෑන් රථයක්‌ සමඟ පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි යන්නය.
මෙකී චෝදනාව යටතේ එවකට නාවික හමුදාවේ සිටි බුද්ධි ප්‍රධානියා සහ තවත් උසස්‌ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට සුදානමක්‌ තිබෙන බවද මේ වන විට සීඅයිඩීය ඇතුළෙන්ම වාර්තා වන්නේය. ඉහතකී පැහැර ගැනීමේදී එක්‌ ව්‍යාපාරිකයකු පැළඳ සිටි රුපියල් ලක්‍ෂ හතළිස්‌පහක්‌ පමණ වටිනා රන් ආභරණ කොල්ල කා ඇති බවක්‌ ද සීඅයිඩීය මාපාට එරෙහිව නගන තවත් චෝදනාවක්‌ වී ඇත.
එහෙත් ඒ කතාව හමුවේ අපට කියන්නට ඇත්තේ එකී සිද්ධියට අදාළ කාලසීමාව ගෙන බැලුවහොත් රුපියල් ලක්‍ෂ හතළිස්‌පහක රත්තරන් ඔහු පැළඳ සිටියා නම් එක්‌කෝ ඔහු ජුවලරි සාප්පුවක්‌ විය යුතුය. එසේත් නැතිනම් මුළු ශරීරය වැසෙන සේ රත්තරන් පැළඳ සිටියා විය යුතුය. මන්ද එකල රත්තරන් මිල ගණන් අනුව ඉන් එහා දෙයක්‌ වන්නට විදිහක්‌ නම් නැත.
එසේම මේ සිද්ධියේදී සීඅයිඩීයේ මහත්වරුන්ට මතක්‌ කර දෙන්නට තවත් දෙයක්‌ද අපට ඇත. ඒ යුද සමයේ කොළඹ ට පැමිණ සිටි ඇතැම් දෙමළ ව්‍යාපාරිකයන්ගේ පැටිකිරිය ය. අනේ මහත්තයෝ එකල බස්‌නාහිර පළාත භාරව සිටි හිටපු ඩීඅයිජී නිමල් මැදිවක මහතාගෙන් ඇසුවේ නම් එසේ කොළඹට රිංගූ ව්‍යාපාරිකයන්ගේ රෙද්ද අස්‌සේ තිබූ කොටි පුල්ලි ගණනද නුඹලාට කියා දෙනු ඇත.
මේ පයිත්තියන් කතා අද සීඅයිඩීයේ සිටින්නේ යෑයි බෙංගමුවේ නාලක හිමියන් කියන ආකාරයේ නිලධාරීන්ද ඇතුළුව විමර්ශනාත්මක සොයා ගැනීම වෙනුවට රජයේ සාක්‍ෂි මත යෑපෙන විමර්ශකයන්ට නම් පත්තියන් වනු ඇත. එහෙත් එවන් ව්‍යාපාරිකයන් කොළඹ වනසන්නට කළ කුමන්ත්‍රණ ගැන අපද දැන සිටින නිසා මේවා ඇසෙන කල අප නම් කල්පනා කරන්නේ අංගොඩින් පැන ආ කවුරුන් හෝ අද සීඅයිඩීයට හොරෙන් රිංගාගෙන සිටින්නේද කියාය.
මේජර් බුලත්වත්තට අද අත්වී තිබෙන්නේද මේ ඉරණම ම ය. අප මේ ටික කියන්නේ රටේ මිනිසුන්ට දැන ගැනීමටය. ඉකුත් යුද සමයේ දකුණේ ආරක්‍ෂාව වෙනුවෙන් කොළඹ මරදානේ සිට ක්‍රියාත්මක වූ ටි්‍රපෝලි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ ප්‍රධානියා වූයේ මේජර් බුලත්වත්තය.
මේ රටේ ජනතාව මර බයෙන් කොටි බෝම්බ ගැන සිතමින් කොළඹට එද්දී ඒ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට මේජර් බුලත්වත්තලා කළ සේවය කිසිවකුත් දැන සිටියේ නැත. එහිදී ඇතැම් අවස්‌ථාවල දින ගණනාවක්‌ කුසට හරි හමන් අහරක්‌ පවා නොමැතිව බුලත්වත්තලා මහමඟ දුක්‌ වින්දාහ.
අද යුද හමුදාවෙන් දෙන “චිකන් රයිස්‌” එක ගිල දමා යුද හමුදාවටම එරෙහිව විමර්ශන කරන ඇතැම් පොලිස්‌ මාමාලාගේ මෙන් නොව, බුලත්වත්තලා මේ රට වෙනුවෙන් කළ කැප කිරීම් සහ ඉටු කළ මෙහෙවර අපට අදටත් ප්‍රසිද්ධියේ කියන්නට නොහැකිය. මන්ද ඒ සියල්ල සදාකාලිකවම ජාතික ආරක්‍ෂාවට වැදගත් වන නිසාය.
යුද සහ නාවික හමුදා බු ද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් අතිශය සංවේදී වූ රහස්‍ය තොරතුරුද ගෙන සීඅයිඩීය විමර්ශන කරන ආකාරයෙන් තුට්‌ටු දෙකේ වැඩ කරන්නට ද අපට නොහැකිය. මේජර් බුලත්වත්ත ඇතුළු අත්අඩංගුවේ පසුවන යුද හමුදා බුද්ධි නිලධාරීන්ට සීඅයිඩීය නඟා ඇති චෝදනාව වන්නේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්‌ පහරදුන්නේ යෑයි යන්නය.
එම චෝදනාවට අනුව ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින කීත් නොයාර්ව බුලත්වත්තලාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය ලෙස මෙරටට ගෙන්වා ගන්නට මේ දිනවල සීඅයිඩීය නොගන්නා උත්සාහයක්‌ද නැත. මේ වන විට ඔස්‌ටේ්‍රලියාවේ කොන්සල් ජෙනරාල්වරයකු ලෙස ක්‍රියා කරන ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොහොයුරාගේ සහාය ඒ සඳහා ඉල්ලා ඇති බවක්‌ද දැනගැනීමට ඇත.
එහෙත් එරටින් වාර්තා වන්නේ සීඅයිඩීයේ මේ මළ කරදරයෙන් බේරෙන්නට නොහැකි නිසා මාධ්‍යවේදී කීත් නොයාර් ඔස්‌ටේ්‍රලියාවේ මෙතෙක්‌ පදිංචිව සිටි ස්‌ථානයද අතහැර ගොස්‌ ඇතැයි යන්නය. දැන් සීඅයිඩීයේ මහත්වරුන්ට අවැසි නම් මේජර් බුලත්වත්ත කීත් නොයාර්ව ඔස්‌ටේ්‍රලියාවේදීත් සුදු වෑන් එකකින් ඉස්‌සුවායිs කියා කියන්නට ද පුළුවන.
එසේම මෙහිදී රහස්‌ පොලිසියට කියා දෙන්නට පුංචි කතාවක්‌ද අපට ඇත. ඒ නිකමට හෝ කීත් නොයාර් ලංකාවට පැමිණියහොත් මේජර් බුලත්වත්තලා නොව, අප කිසිවකුත් නොසිතන චරිතයක්‌ නෝවෙයාර් විය හැකි බවය. අප එසේ කියන්නේ කීත් නොයාර්ට පහර දුන් සමයේ මෙරට සමාජයේ ඉහළින් කියෑවුණු කතාවක්‌ අපේ මතකයේ ඇති නිසාය.
එහිදී Rජුවම චෝදනා එල්ල වූයේ හිටපු හමුදා නිලධාරියකුටය. ඒ චෝදනාව නිවැරදි බව එකල එකී හමුදා ප්‍රධානියා සමීපයේ සිටි මාධ්‍ය ගිරවකු වරක්‌ මාධ්‍යවේදීන් පොඩ්ඩක්‌ ගන්නට එන කොළඹ මාධ්‍ය අවන්හලේදී පදම වැඩිවී සඳහනක්‌ද කර තිබිණ.
එසේම ඇඹිලිපිටියේදී ආමි රෝෂාන්ට වෙඩි වැදුණු හැටි සහ භාරත ඝාතන නඩුවේදී මරණ දඬුවම හිමි වූ ගලබඩට සිදුවූයේ කුමක්‌ද යන්නද මේ විමර්ශන කරන නිලධාරීන් මේ අන්දමටම සොයා බලන්නේ නම් හරි වටින්නේය. අද ඔවුන් එසේ නොකළහොත් අනාගතයේ දිනක කවුරුන් හෝ ඒවාත් සොයනු ඇතැයි අපට නිකමට වගේ සිතෙන්නේය. මන්ද මේ සිදුවන දේ හමුවේ ඒවා ගැනද දැන් විවිධ කතා කියෑවෙමින් තිබෙන නිසාය
අද මෙසේ බුද්ධි අංශවලට එරෙහිව සීඅයිඩීය සිදු කරන, අතීත “මිලේනියම් සිටි” පාවා දීමට නොදෙවෙනි වූ විමර්ශනවල කතාව මෙසේ වෙද්දී දැන් තවත් කතාවක්‌ද කරළියට පැමිණ ඇත. ඒ සීඅයිඩීයේ නොව ටීඅයිඩීයේ විමර්ශනයක්‌ ගැනය.
ටීඅයිඩීය මේ දිනවල යුද්ධයෙන් පසු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හිටපු කොටි සාමාජිකයන්ද යොදාගෙන ක්‍රියාත්මක කළ “ඔපරේෂන් ඩබල් එඡ්” පිළිබඳ තවත් අපූරු විමර්ශනයක්‌ අරඹා ඇත.
එකී විමර්ශනයට අනුව දැනටමත් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටි නිලධාරීන් කිහිප දෙනකු ගෙන්වා යුද්ධයෙන් පසු එල්ටීටීඊයේ ඊළඟ ප්‍රධානියා ලෙස සිටි නැගෙනහිර නායක රාම් සහ නගුලන්, තවේන්ද්‍රන් වැන්නවුන් ගිරිතලේ බුද්ධි කඳවුරේ තබාගෙන කටයුතු කළේ කෙසේදැයි ප්‍රශ්න කිරීමට ද ටීඅයිඩීය පියවර ගෙන ඇත.
මෙහිදී ඉලක්‌කය වී තිබෙන්නේ පසුගිය කාලයේ චාවාකච්ෙච්රියේදී බෝම්බ ජැකට්‌ එකක්‌ සහ ක්‌ලේමෝ බෝම්බ කිහිපයක්‌ සමඟ කොටුවූ කොටියා එසේ චාවාකච්ෙච්රියෙන් මතුවූයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සමඟ එක්‌ව සිදු කළ කුමන්ත්‍රණයකට අනුව යෑයි ඒත්තු ගන්වා තවත් බුද්ධි නිලධාරීන් පිරිසක්‌ දඩයම් කිරීම බවද වාර්තා වන්නේය.
එහෙත් පොලිසියේ මෙකී මනෝවිකාරය හමුවේ සිදු වන්නේ කුමක්‌ද? යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඉතාම රහසිගතව සිදු කළ “ඔපරේෂන් ඩබල් එඡ්” හි මෙතෙක්‌ අනාවරණය නොවූ කරුණුද එළියට ඒමේ අවදානමක්‌ මතුවීමය. එහිදී රටේ ජාතික ආරක්‍ෂාවට සිදු විය හැකි විනාශය නම් වචනයෙන් කිව නොහැක.
එහෙයින් අප ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ පොලිසිය කරන මේ විකාර වැඩ නතර කිරීමට කටයුතු කරන ලෙසය. අද රටට සිදු වන මේ විනාශය නතර කිරීමට ජනාධිපතිවරයා හැර අන් කිසිවකුත් නොමැති බව අපේ එකම විශ්වාසය බවද අවසන් වශයෙන් සටහන් කළ යුතුය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!